Thursday, December 18, 2014

සරසවියෙන් නික්මීම












පිය සටහන් මැකිලා තවමත් නැතුවද
අපි ගතකල  මොහොතක්  පාසා
අවසන් පා සටහන් හෙට තැබුවද
යන්නේ කොහොමද සමු දීලා...
තාමත් සුලඟේ හෙමින් ඇසෙනවා
අපි ඉස්සර කළ කවට සිනා
ගහකොළ වැල් හොඳ හැටි දන්නවා ඇති
හොර රහසේම අපි කරපු කතා...
සුසුමක් සුසුමක් පාසා දැනෙන්නත්
ඉස්සර සුවඳම හින්දා මෙදා...
හිතට මේ තරම් දුකක් දැනෙන්නේ
ලෙන්ගතු කම ලොකු වැඩි හන්දා...

මතක පෙතේ කෙරවලක ඉඳන් 
එබිකම් කෙරුවත් එහෙන් මෙහෙන්
හිත දන්නවා අයෙත් එන් නෑ
සමනළ යුගයක කියුම් කෙරුම් ....
හිතේ තියාගෙන අරගෙන යන්නම්
ලස්සන ලස්සන මතක ගොඩක්
තනිවුණ දාකට දැනේවි එතකොට
ඔයාලා මගේ ළඟ ඉන්න බවක්


Saturday, November 8, 2014

මග හැරුණු මල


“සිතුම් අයියේ .....”
පසු ගිය කාලේ පුරාවටම මම අහන්න අසාවෙන් හිටි ඒ හඬ එකපාරටම මගේ සවනත පතිත විය. පුදුමයකි නැත්නම් ඒ දෛවයේ හැටිය. ඒ කටහඬ මුලින්ම මට ඇසුනෙත් මේ බස් නැවතුම් පොලදීමය. මගේ ඇස් මොහතකින් ඒ හඬේ හිමිකාරිය හොයා ගත්තේය. මම ඈ වෙතට පිය මනින අතරතුරේ මගේ හිත මාව බලෙන්ම  අතීතයට රැගෙන ගියේය.

සාමන්‍ය පෙළ ලියා අවසන් වීමෙන් ලද නිදහසෙන් මම ඒ දවස් ගත කලේ මහත් සතුටෙනි . ඇත්තම කියනවා නම් යෞවන මදය මගේ ඔළුවට තදින්ම පහර දී තිබුණේ ඒ අවදියේදීය. “සමනලයා” යන අන්වර්ථ නාමයෙන් මිතුරන් අතර මා ප්‍රසිද්ධ වී සිටියේ සමනලයෙකුට ගැලපෙන තරම් ලස්සන පෙනුමක් මට හිමිවෙලා තිබුන නිසා පමණක්ම නොවේ. සාමාන්‍යයෙන් සමනලුන් මල් සොයාගෙන තටු කඩාගෙන ඉගිලෙන කාලයක මල් එකා පසු පස එකා සොයා එන තරමටම මම වාසනාවන්තයෙක් වු නිසාය.

ඒ කාලයේ මල් එනම් ලස්සන කෙල්ලන් හොයා ගන්නත් නිකරුනේ කාලය කා දැමීමටත්
මමත් මගේ සගයනුත් බස් නැවතුම් පොළ තෝරා ගත්තෙමු. එදත් දවසම නිකරුනේ ගත කළ මා හැන්දෑවේ නිවෙස බලා යාමට  බස් නැවතුමට ආවෙමි. ඉරිදා දවසක් බැවින් පාලු වූ බස් නැවතුමේ කෙළවරක ඇහැට පුරුදු නැති ගැහැණු ළමයෙක් පාර දෙස බලමින් සිටිනයුරු මම දැක්කෙමි.

 “නංගි ඇයි තනියම ?”

මගේ කට මොළය ක්‍රියාත්මක වීමට පෙර ක්‍රියාත්මක විය. ඇය හිස ඔසවා මා දිහා බැලුවාය.මා නෙලා ඇති මල් හා බලන කල ඇයට සුවිශේෂි වූ ලස්සනක් තිබුණේ නැත. එත් ඇගේ කළු පාට ඇස් වල බැල්ම තියුණු විය. ඇය හැඳ සිටියේ සුදු පාට මල් වැටුන ලා කොළ පාට ගවුමකි. ඇත්තෙන්ම කිවහොත් ඇය ගොඩේ කෙල්ලක් යැයි මට සිතුණි. මේ වගේ වෙලාවට පාළුව මග හරවා ගැනීමට කවුරුන් හෝ කමක් නැත.

“නංගි මේ පළාතේ කෙනෙක් නෙමෙයි නේද? මම කලින් දැකල නැති නිසයි අහන්නේ?”
එවර ඇගේ කටහඩ අවදි විය.

“හ්ම්ම්ම්”

“ඔයා ක්ලාස් ඇරිලා ගෙදර යන ගමන් නේද? කීය වසරේද ඉන්නේ ? කොහෙද ඉස්කෝලේ?”
ලද අවසරෙන් මම ප්‍රශ්න ගෝනියක් මම ඇගේ කරපිට දැම්මෙමි. ඈ සිනාසුණාය. ඇගේ සිනහව ලස්සනය.

“මම  ඒ ලෙවල් ක්ලාස් ආවා . උසස් බාලිකාවට එන්න ඉන්නේ ඒ  ලෙවල් කරන්න ”ඈ නොපැකිලව කතා කළාය. මතක හැටියට මම මේ සුදානම් වන්නේ පනස් පස් වෙනි මල නෙලා ගැනීමටය. මගේ සිහිනය කවදාක හෝ කෙල්ලන් සියයක් සමග යහළු වී වාර්තාවක් තැබීමය. ඒ නිසා කවුරුන් හෝ කමක් නැත.
මගේ ප්‍රේමයට බාධා කරමින් බස් රථය ආවේය.  මාද ඇය සමගින් බස් රථයට ගොඩ වුණෙමි. ඈ මා නොසලකා ගිහින් ආච්චි අම්මා කෙනෙක් ළඟ හිඳ ගත්තාය. මම වහා ඇය මගේ ලැයිස්තුවෙන් නෙරපා දැම්මෙමි. කෙල්ලන් මගේ පසුපස එන කාලයක මෙවන් කෙල්ලෙක් එක්ක කතා කිරීමද මදි පුංචි කමක් ලෙස මට සිතුණි.

කාලය ගෙවී ගියේය . මට ඉඳ හිට  ඒ ගොඩේ කෙල්ලව මුණ ගැසුනේය. ඇය නමින් සමනලී විය. පදිංචිව සිටියේ නගරයට ගම් තුන හතරක් ඈතින් වූ දුෂ්කර ගමකය. ඇය වැඩිය කතා නොකලාය. නමුත් මා දකින සෑම විටකදීම ඇයගේ මුහුණ සිනහවකින් ආලෝක මත් විය. මම ඒ සිනහවට ආසා කෙරුවෙමි.

උසස් පෙළ පන්ති ඇරඹුණේ සාමාන්‍ය පෙළ ප්‍රතිපල පිටවී සති දෙක තුනකට පසුවය. යන්තමින් සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ මම සගයන්ගේ කීමට උසස් පෙළ සඳහා වාණිජ්‍ය විෂය ධාරාව තෝරා ගත්තෙමි. පාසල් ඇරඹී දින දෙකතුනකට පසුව මම සමනලිව උදෑසන බස් රථයේදී දුටුවෙමි. ඇය උසස් බාලිකාවේ පාසල් නිල ඇඳුම හැඳ සිටියාය. ඇය මා නොදුටුවාය.

මට එදින සවස නැවත සමනලීව මුණ ගැසීමට අසාවක් ඇති වුයේ ඉබේටමය. එලෙසින්ම මම සමනලී පිළිබඳව මගේ සගයින්ගෙන් සඟවා තැබීමට වග බලා ගත්තෙමි. ඒ නිසා කලින් නිවසට යාමට අවශ්‍ය බව සගයින්ට පවසා පාසල අවසන් වීමට මද වෙලාවකට පෙර මම බස් නැවතුම් පොලට ගියෙමි.
මා සිතුවා නිවැරදිය. සමනලී පාසැල නිමාවී බස් නැවතුම් පොලට ආවාය.

“ඉතින් කොහොමද නංගි” සමවයසේ වුවත් මම සමනලීට නංගි ලෙස ඇමතීමට පුරුදු වී සිටියාය. ඇයද මා ඇමතුවේ සිතුම් අයියා යනුවෙනි.
“හොඳයි අයියේ” ඇයගේ මුණ සුපුරුදු සිනහවෙන් ආලෝකමත් විය.

“අලුත් ඉස්කොලේ  හොඳයිද? රැග් කලේ එහෙම නෑ නේද කට්ටිය. අවුලක් වුනොත් කියන්න මගේ යාළුවෝ ඉන්නවා ” මම ඇය සමග දොඩමලු වුවෙමි.

“ඔව් ඔයා ගැන එහෙ හරි ප්‍රසිද්ධයි හැමෝම කතා වෙනවා” ඇය සිනහවෙන්මඋත්තර දුන්නාය.

“එකනේ ආඩම්බර වෙන්න මම වගේ කෙනෙක් එක්ක කතා කරන්න හම්බ වෙච්ච එකට” මමත්  ඇගේ හිනාවට එකතු වුයෙමි”
බස් රථය ආවේය. ඇය වෙනදා මෙන් හිඳ ගැනීමට පොරකෑවේ නැත. මමද ඇය ගාවින් සිට ගත්තෙමි.

“මම දෙයක් කියන්න ආඩම්බර වෙන්නේ නෑ නේද? ” ඇය එක්වරම පැවසුවාය.
“කියන්න” මම කුතුහලයෙන් ඇයගේ මුහුණට එබුනෙමි.
“ඔයාට තිබ්බේ රඟපාන්න යන්න” ඇය සිනාවෙමින් කීවාය.
“ඇයි එහෙම කිව්වේ” මම පුදුමයෙන් ඇසුවෙමි.
“නෑ ඉතින් ඔයා නළුවෙක් වගේ ලස්සනයි. ලස්සනට කතා කරන්න දන්නවා. හොඳට රඟපාන්නත් පුළුවන් ඇති” ඇය වක්‍රාකාරයෙන් කිවේ මම කඩවසම් බවය. මීට පෙර මුණගැසී ඇති බොහෝ කෙල්ලන් එය මට පවසා ඇති මුත් මෙලෙස කීවේ  ඇය පමණක්ම බව මට හොඳින්ම මතකය.

“අයියෝ නංගි මම දැනටමත් රඟපානවා. මේ ළඟදිත් අයිශ්චර්යා එක්ක ෆිල්ම් එකක් කළා. ශාරුක් ගෙනුත් කරදරේ මේ දැනුත් කෝල් කරලා එන්න කිව්වා ” මම කීවේ ඇයට සිනහ පහල කරමිනි.

මම බස් රථයෙන් බැස යනතුරුම එදා ඇය මා ළඟින් හිටගෙන හිටියාය. අපි නොනවත්වාම කතා කළෙමු. ඒ කතා වල මම සුපිරි වීරයෙක් විය. ඇය මම කියන කතා ඇස් ලොකු කරන් අසා සිටියාය. සමහර තැන් ලස්සනට ගොතා දුන්නාය. බසයෙන් බසිද්දී මගේ හිත සතුටෙන් හා සැහැල්ලුවෙන් පිරී තිබුනේය.
ඉන්පසු සිතට දුකක් තනිකමක් දැනෙන දවසට මම සමනලී එනතුරු බස් නැවතුම් පොලේ බලා වරු ගණන් බලා සිටියෙමි. නමුත් මම ඇය දන්නා හඳුනන බව කිසිවෙකු සමග නොපැවසීමට වග බලාගත්තෙමි. එමගින් මට මදි පුංචි කමක් වේ යැයි එකල මට සිතුණි. ඇයද මා තනිවම දුටු විට පමණක් කතා බහ කළාය. යහළුවන් හෝ වෙනත් ගැහැණු ළමයෙකු සමග සිටින විටකදී ඇය මා නොදැක්කා සේ හැසිරුණාය.

“මම කවදා හරි යාලු වෙන්නේ බඳින්නම තමයි. දෙපාර තුන්පාර දෙන්න මගේ ළඟ හිත් ගොඩක් නෑනේ එක හිතයි තියෙන්නේ”
මගේ කෙල්ලන් සියයේ වාර්තාව ගැන කී මොහොතේ සමනලී පැවසුවාය. එදින මට සිතුනේ ඇයට තියෙන්නේ හණමිටි අදහස් බවය.

“මම නම් කවදාවත් ඔයා වගේ කොල්ලෙක් එක්ක යාලු වෙන්නේ නෑ ”
තවත් දවසක් ඇය පැවසුවාය. එදින ඇය බස් නැවතුම් පොලට එන විට මම සිටියේ මගේ හැට හතර වෙනි ගැහණු ළමයා සහ ඇගේ යහළුවන්ට මැදිවය. ඔවුන්ගේ තොරතෝංචියක් නැති කතා වලින් හෙම්බත් වී සිටි මට සමනලී දුටු විට නොනිම් සැනසුමක් දැනුණි.ඔවුන්ගෙන් ගැලවී මම බස් රථයට ගොඩ වුනේ එය ගමන් ආරම්භ කළ පසුවය.
“ඇයි ඒ නරක් වෙලා තියෙයි මම වගේ කොල්ලෙක් සෙට් වුනොත්” මම පැවසුවෙමි

“එත් එතකොට මට එයාව අනිත් කෙල්ලන්ගෙන් පරිස්සම් කරනවාට වඩා දෙයක් නැතිවෙයි” ඇය පැවසුවේ සිනහ වෙමිනි.
මම සමනලීව කොතරම් ළඟින් ආශ්‍රය කළත් ඇය සමඟ සම්බන්ධයක් ඇති කර නොගැනීමට වගබලා ගත්තෙමි. එයට ඇයගේ අහිංසක කමද පිවිතුරු ප්‍රේමය ගැන තිබුණ අදහස් ද හේතු විය. ඇයටද ඉගෙනීමේ කටයුතු ගැන මිස ආදරය පිළිබඳ අදහසක් තිබුණේ නැතිවා විය යුතුය.

තනියම යන එන සමනලී දෙස බැලුම් හෙලන මනමාල කොල්ලන් නොඅඩුව සිටයේය. ඔවුන් පිළිබඳව මගේ හිතේ තිබුනේ අපමණ කේන්තියකි. එවන් විටෙක මම සමනලීට වඩාත් ළඟින් සිට ගත්තෙමි.
“මේ බස් වල නිතර යන එන එක කෙල්ලෙකුට හොඳ නෑ බෝඩිමක් හොයා ගන්න” එවන් දවසක මම ඇයට පැවසුවෙමි . “ඉතින් ඔයා ඉන්නේ මගේ තනියට” ඇය වහා පැවසුවාය.
“එක එක කෙල්ලන්ට තනි රකිනවට වඩා මට වෙන වැඩ තියෙනවා” මම පැවසුවෙමි. ඇය සුපුරුදු සිනහව පෑවාය.

දින කිහිපයකට පසු මම පාසල් ඇරී සමනලී මුණ ගැසීමට පැමිණියද ඇය සුපුරුදු ලෙස බස් නැවතුම්පොළට නාවාය. ඇය පිළිබඳ මට තොරතුරු සොයා ගැනීමට මගක් නොවීය. නමුත් උසස් පෙළ විභාගයටද ළඟ බැවින් ඇය බෝඩිමක නතර වන්නට ඇති බව මට සිතුණි.
ඉන්පසු මට සමනලිව මුණ ගැසුණේ බොහොමත් කලාතුරකින්ය. එවන් හමුවීමක්ද සිනහවකට පමණක් සීමා කීරීමට මට සිදු වුයේ විටෙක මා වටා සගයින් සිටි බැවිනි. විටෙක මා සිටියේ කවුරුන් හෝ කෙල්ලක් සමගය.
උසස් පෙළ විභාගය අවසන් වීමට පෙර මම මාගේ අනු නම වන ගැහැණු ළමයා සමග ආදර කතාව පටන් ගත්තෙමි. ඇය කලින් සිටි අනු අට දෙනාටම වඩා විසේකාර කෙල්ලක් වුවාය. මා ඉදිරියේම ඇය මාගේ හොඳම යහළුවා සමග යාලු වුවාය. නමුත් මට ඒ පිළිබඳව කිසිම දුකක් හට ගත්තේ නැත.

උසස් පෙළ විභාගය අවසන් විය. මට නැවතත් අරමුණක් නැති විය. ජීවිතය ඔහේ ගලාගෙන ගිය අතර කෙල්ලන්ගෙන් හා ආදර සම්බන්ධ වලින්ද මම හෙම්බත් වී සිටියෙමි. සිය වෙනි ගැහැණු ළමයා මගේ  ජීවිතේ සහකාරිය කර ගත යුතු බව මම තරයේ සිතා ගත්තෙමි.  පාළුවත් තනිකමත් සිතට දැනෙන සැම විටෙකදීම මට සමනලීව මතකයට නැගුණේය. මා සමග සම්බන්ධකම් පැවැත් වූ සමහර කෙල්ලන්ගේ නම් පවා මට අමතකව ගිය නමුත් සමනලී සමග කතා කල හැම වචනයක්ම මට මතක තිබුනේය.

මම ඇය පිළිබඳව  හැකිතරම් සෙව්වෙමි. නමුත් ඈ සිටින්නේ කොහෙද යන්නවත් මට සොයා ගැනීමට නොහැකිවිය. මම ඈගේ කතා මතක් කර කර තනියම සිනා සුනෙමි. ඇය සමඟ සම්බන්ධයක් නොපැවැත්වීම ගැන දුක් වුයෙමි. ඇය කියු ආකාරයට ජීවිතේ වෙනස් කර ගත්තෙමි. රැකියාවකට ගියෙමි. මුදල් ඉතිරි කර ගත්තෙමි. කාලය කා දැමීම හා ගැහැණු ළමයින් සමග සම්බන්ධකම් පැවැත්වීම සම්පුර්ණයෙන්ම නවතා දැමුවෙමි. ඇය කැමැති කියූ ලෙස ඇඳුම් පවා තෝරා ගත්තෙමි. මගේ සගයෝ පවා මගේ වෙනස පිලිබඳව පුදුම වුවෝය.

“ඉතින් කොහොමද ? සිතුම් අයියේ”
සමනලී මාව අතීතයෙන් වර්තමානයට රැගෙන ආවේය. ඇය බොහෝ සේ වෙනස් වී සිටියේය . ස්ට්‍රේට් කර වර්ණ ගන්වන ළද කොණ්ඩය උරහිස දක්වා වැටී තිබුණි. රෝස පාට කුර්තා බ්ලව්සයකින් හා සුදු පැහැති කලිසමින් ඇයගේ සිරුරේ හැඩය මානාව  කැපී පෙනුණි. යාන්තමට තොල් වල වර්ණ ගන්වා තිබුණාය. නමුත් මේ කිසිවකින් ඇයගේ සිනහවේ තිබුන අව්‍යාජත්වයට බාධාවක් වුයේ නැත. ඒ සිනහව එදා වගේම සුන්දරය පිවිතුරුය.

“හොඳයි නංගියෝ” මම ඇය ගාවින්ම සිට ගත්තෙමි. අද නම් ඇයට යාමට දිය නොහැක. ඈ මම මගේම කර ගන්නෙමි. මලක් වගේ පරිස්සමට බලා ගන්නෙමි. මම තත්පරයට සිහින දහසක් දැක්කෙමි.
එවරද  මගේ මොළයට පෙර කට ඉස්සර වුයේය. මේ අවරුදු සය පුරාවටම විවිධ ලෙස සමනලිට ආදරය ප්‍රකාශ කිරීමට මා එකතු කර ගත් වචන සියල්ල මට මොහොතකට අමතක විය.
“කියන්න නංගි ඔයා හොයපු ඉරණම් කාරයා හම්බ වුණාද?”
ඇය සිනාසුණාය.  
“මම හිතන්නේ ඔව් මට ගොඩක් ගැළපෙන කෙනෙක් හම්බ වුණා අපි ගිය මාසේ එන්ගේජ් වුණා. වෙඩින් එකට හෝල් එකක් බුක් කරන්න තමයි අද ආවේ”
ලෝකයම මොහොතකට නතර වුණු සේ මට හැඟින. මගේ වෙනස ඇයට තේරුම් යන්නට ඇත.

ඇය යලිත් සිනාසුණාය. “ඉතින් කියන්නකෝ ෂාරුක් ඛාන් ළඟදී කෝල් කලේ නැද්ද” ඇය අසනවා මට ඈතින් ඇසුණේය.


Monday, September 22, 2014

මුල්ම මතකයන්

මේ ළඟදී දවසක් මම මගේ හිතේ පත්ලටම එබිකම් කරලා බැලුවා. ඒක හරියට මතක පොතක් වගේ. එත් මුල්ම පිටු ටික නම් පැහැදිලි මදි. ඒ අපැහැදිලි පිටුවල තියෙන ලස්සන මතකයන් මම දැන ගත්තේ අම්මගෙන්.
ඔයා ඉපදුනේ රටේ හරියට කලබල තියෙන කාලෙක. ඒ හින්දා නගරේ තිබ්බ ඉස්පිරිතාලෙට යන්න බැරි වුණා. ගමේ ඉස්පිරිතාලේ තමයි ඔයා ඉපදුනේ. ඔයා ඉපදෙනකොට ටිකක් වැඩියෙන් අමාරු වුණා. ඔයාගේ ඔලුව ඇඟට වඩා ලොකුයි. දොස්තරත් බය වෙලා කිව්වා බබා මන්ද බුද්ධික ද දන්නේ නෑ කියලා.
ජීවිතේ වැඩියෙන්ම ශාරීරික වේදනාව වින්ද දවස වුණත් අම්මා ඒ දවස ගැන මතක් කරන්නේ හරිම සතුටෙන්.
අම්මාගෙන් වැඩි පුරම කිරි බීලා තියෙන්නෙත් මමලු. අම්මා එහෙම කියන්නේ හිනා වෙලා. එත් මට ඒ ගැන පුංචිවත් මතකයක් නම් නෑ.

අම්මා කියනවා මම හරි දඟයිලු. මටත් මතකයි යන්තමින් ඇවිදිනවා. ඒ කලේ මම අඳින්න ආසම රතු පාට කලිසමක් තිබ්බා කියලා නම් හොඳට මතකයි. මාව බලාගන්න ගෙදර පුංචි අම්මා කියලා කෙනෙක් හිටියලු.
එයා කලුයි කියලා නම් මට හොඳට මතකයි.

අම්මා මට පුංචි කලේ රෝස පාට සපත්තු දෙකකුයි රතුපාට මේස් දෙකකුයි ගෙනත් දුන්නා. මම ඒවා දාගෙන අම්මලාගේ ගමේ ගෙදර ගියා. තාත්තා අක්කාව වඩා ගෙන යද්දී අම්මා තමයි මාව වඩාගෙන ගියේ. ඒ කාලේ මම හිතුවේ අක්කා තාත්තගේ මම අම්මාගේ කියලා.

මේ අපැහැදිලි මතක පිටු අතර පැහැදලි මතක පිටුවක් තියෙන්නේ ලොකු නංගි ඉපදුන දවස. එයා ඉපදුනේ මගේ තුන් වෙනි උපන්දිනය දවසේ. ඒ හින්දා හැමෝම කිව්වේ එයා  මගේ උපන්දින තෑග්ග කියලා. මම ඉතින් ගොඩක් සතුටෙන් හිටියේ . මට හොඳට මතකයි එයාව ආච්චි අම්මා වඩාගෙන ගෙදරට එක්කරගෙන ආව හැටි.

කොච්චර පිළිවෙලට තියා ගන්න හැදුවත් මතක පොත නම් හරිම අපිළිවෙලයි. එත් පුංචි කාලේ මතක නම් හරිම ලස්සනයි අහිංසකයි





Tuesday, September 16, 2014

ට්‍රයල් පාස් වීම

පුංචි දවස්වල ඉඳන්ම වාහන වලට ඇල්මක් හිතේ කෙලවරකවත් නොතිබුණ හින්දම වාහනයක් පදවන් යන්නේ කොහොමද කියලා පොඩ්ඩක්වත් මම දැනගෙන හිටියේ නෑ. ඇත්තටම මම හිතන් හිටියේ ස්ටියරින් වීල් එක කරකවලා ගියර් එක එහෙට මෙහෙට දැම්මම ඔක්කොම හරි කියලා. අක්කයි නංගියි වාහන පදින්න ලයිසන් ගත්තම මටත් හිතුණා ලයිසන් ගන්න ඕනි කියලා. වැඩ අස්සේ එහාට මෙහාට වෙලා අන්තිමට ඔන්න මටත් ලර්නර්ස් යන්න චාන්ස් එකක් ආවා. මම ගැන ලොකුවට හිතන් උන්නු මම මුලින්ම වාහනේට නැගපු දවසේ තේරුම් ගත්තා මටත් බැරි දේවල් මේ ලෝකේ කොච්චර තියෙනවද කියලා.

පුරුදු වෙන්න වෙලාවක් නොතිබුණාට ට්‍රයල් එක නම් හරියටම දවසට තිබුණා. එත් මට එච්චර බයක් තිබ්බේ නෑ. එක්සැමිනර් මුලින්ම කතා කලේ මට. එතකොට නම් ටික ටික බය දැනෙන ගත්තා. සමහර විට මට වඩා පණ බයක් වාහනේ ඇතුලේ ඉන්න අයට දැනෙන ඇති. ඔන්න මම වාහනේ පදවාගෙන යනවා.

කෝ මට නවත්තන්න කියන්නේ නෑනේ ... ඉස්සරහ වට රවුමක් තියෙයි. මම වට රවුම පදින්න දන්නේ නෑ. දැන්නම් බයයි. හ්ම්ම්ම් මොකද්ද වට රවුමේ නීතිය දකුණෙන් එන වාහන වලට ඉඩ දෙන්න ඕනි. දකුණෙන් වාහන එන්නේ නෑ. මම දැන් වටරවුම ගත්තා. අනේ මෙන්න වාහනේ හැරුණා. දැන් මොකද්ද කරන්නේ.
ඇස් පියා ගන්නවා.

හ්ම්ම්ම් කොහොමද වාහනේ නතර වුනේ???? එක්සැමින හෑන්ඩ් බ්රේක් අද්දා.

මම ට්‍රයල් ෆේල්...  එක්සැමින මොනවාද කොලේ පුරාම ලිව්වා කඳුළු අතරින් මට පෙනුනා. දවසම කට්ට කාලා මම ගෙදර ගියේ හැමෝගෙම බලාපොරොත්තු කඩ කරලා.

හැමෝම එක එක උපදෙස් දුන්නා. කමක් නෑ මම අයෙත් උත්සහ කරලා බලනවා බෑ කියලා හිතන්නෙම නැති මගේ චණ්ඩි හිත එහෙම හිතුවා.

අයෙත් ට්‍රයල්  දැම්මා. දැන් මම දන්නවා තාමත් මම ට්‍රයල් පාස් වෙන්න තරම් හොඳ නෑ කියලා. ඔව් විභාග පාස් වුනාට වාහන එලවන්න බෑ. එත් මට තියෙන්නේ සැලෙන්නේ නැති හිතක්. පොඩි දේවල් වලට ඇඩුවට මගේ හිත ගොඩක් හයියයි.

එදා එක්සමිනමයි එදා වට රවුම මයි  එත් මම ට්‍රයල් පාස්. 

Thursday, August 7, 2014

දියැස් වීරමුණි

ගිනි මද්දහනේ ඉර පායලා තිබුණේ කිසිම අනුකම්පාවක් නැතිව. එහෙන් මෙහෙන් දාඩිය  බෙරෙද්දී පිස්සුවෙන් වගේ දුවන වාහන වලින් පිටවෙන දුමත් එක්ක දුවිලි තට්ටු දහස් ගානක් මුණේ තැවරෙද්දී තොරතෝංචියක් නැතිව ඇසෙන සද්ද වලින් කන පුපුරන්න එනකොට මට නම් හිතෙන්නේ ටවුන් එක තරම් මිහිපිට අපායක් නැති තරම් කියලා. එත් වෙලාවක් ලැබුන ගමන් කොච්චාර අමාරු වුණත් ගෙදර දුවගෙන එන්නේගෙදර තරම් දිව්‍ය ලෝකයක් තවත් නැති හින්දා.

අද  ගෙදර එද්දී මගේ ගාව ඉඳගෙන ආව නංගි කෙනෙක් හෙමිහිට නවකතා පොතක් අරගෙන කියවන්න පටන් ගත්තා. මරණ තුනක් තියෙන මිනිහෙකුත් පැණි කෑවලුනේ මටත් දැනුනේ ඒවගේ හැඟීමක්. මගේ ඇස දෙකත් නවකතා පොතේ පේළියෙන් පේළිය පහළට ගියා.
පොතේ නම "මල් පොහොට්ටු" ලියලා තිබ්බේ කතුවරියක් ම්ම්ම්  කවුද කියලා හරියටම මතක නැහැ.

කතාවේ ප්‍රධාන චරිතය "දියැස් වීරමුණි" දුඹුරු පාට  ඇස් තියෙන ආමි මේජර් කෙනෙක්, එයාගේ හිත ගිහින් තිබුණේ දෙමාපියෝ අහිමි වෙච්ච පුංචි කෙල්ලෙකුට , නමින් කිව්වොත් එයා පාරෝ. තුන්වැන්නේකුත් හිටියා රාහුල් කියලා.
මගේ හිත නතර වුණේ දියැස් ළඟ. එයාට තියෙන්න ඇත්තේ නමටම ගැලපෙන ප්‍රතාපවත් පෙනුමක්
සමහර විට අජේ දේව්ගන් වගේ වෙන්න ඇති. පාරෝට තියෙන්න ඇතිතේ කාජල්ගේ වගේ අහිංසක ඇස් දෙකක්.
නෑ නෑ පාරෝ මම වගේ පුංචි කෙල්ලෙක් වෙන්න ඇති. මොහොතකට මම පාරෝ වුණා. මේජර් දියැස්ගේ
ප්‍රතාපවත් දේහය ඉස්සරහ මට දැනුනේ හරියට සිංහයෙක් ඉස්සරහ ඉන්න පූස් පැටියෙක් වගේ. ආදරේ කරන්න තියා ඒ ඇස් දිහා කෙලින් බලන්නවත් ශක්තියක් නැතිව මම ගොලුවෙලා බිම බලාගෙන හිටියා. "පාරෝ..." ඔහුගේ ගාම්භිර කටහඬේ තිබ්බේ නැතිවෙච්ච් තාත්තාගේ ආදරේ.




බොර පාට දෙනයනේ
තියුණු  බැල්ම අද කොහිද
යන්තමට දිලිසෙන්න
නෙතු කැල්මන් මන්ද
 කියන්න කොහොමද
මේ තරම් මෙලෙක් හිතක්
ලැබුණේ ඔය රළු පපුවට...

අත දැරූ  රළු අවියේ
කර ගැට අත්ලේ සැඟවීද
මලක් වගේ සියුමැලිව
දෑත ගත්තේ ඔබමද
ඇත්තමයි කියන්න
ආදරේ නුඹ දන්නවද...

ගැහෙන හඬ ඇසෙන්නේ
ඒ ඔබේ හදවතද
මට දැනේනේ ඔබේ
සුසුම් වල උණුසුමද
මම දකින්නේ ඔබව
සිහිනයෙන් නොවේමද

ඉතින් මම දන්නේ නෑ
සතතකින් නුඹ වගේ
ආදරේ කරන්නට...






Monday, July 21, 2014

පිරිමි පුතා

බාර වට්ටියක්  අරගෙන පින් බර දෑතට
අම්මේ නුඹ වැඳ වැටුණද සමන් දෙවිදු ළඟ
පිරූ පාරමී ඇතිවිය එන්නට නුඹ වෙත
එත් මදිලු අම්මේ පුත් රුවනක් වෙන්නට

ලපටි කණ වැටුණි දෙඩු බස් රහසේම
පැතුවද පිරිමි පුතෙක් මම උපදිනදාට
සිතුවා පුතෙක් වෙන්නට මම පොඩි කමට
එකයි කොලු ඇඳුම් ඇන්දේ මතකයිද

උන්නත් නුඹ කියන ලෙස ඒ විදිහටම
හැමදා දුකින් ඉන්නේ මම කළ පවට
අම්මේ දැන උන්නා නම් ඔබගේ පැතුම
එන්නේ නෑ කුසට එය ඉටුවන තෙක්ම

වුවත් ඉගැනුමේ අග තැන්පත් බවට
මට බැරිවේවි පුරවන්නට ඔබේ පැතුම
මංගල දිනේ මම වෙන්වී යන දාට
පුතෙක් උන්නා නම්  කියලා හිතේවිද
උන්නොත් ඉවසලා ඔය හිත සනසගෙන
මම පින් කරමි පුත් රුවනක් ලැබෙන්නට


Wednesday, July 9, 2014

දීගෙක ගිය අක්කාට


මගේ අතින් අල්ලාගෙන හැමතැනම
ඇවිද ගිය නුඹේ අත අත හරින්නට
බැරි වුණා මොහොතකට
අපෙන් ඈතට නුඹට
පිය නගනු බැරි වෙන්න

එත් නුඹ යන්න නුඹේ
ලොව තනන්නට
අපි උන්නා වාගේම
කැදැල්ලක් හදන්නට

ඒ සොඳුරු කැදැල්ලේ
සතුට ඉතිරෙයි හැමදාම
එත්  එපා අමතක වෙන්න
ගොඩවදින්නට
අපි උන්න ඒ පුංචි කැදැල්ලට




Wednesday, April 23, 2014

නාවත් කමක් නෑ හෙට ඉරක්

මම දන්නවා දැන් ජීවිතේ
ගීතයක් නම් නොවේ කියා

නුඹ නෑ මගේ ළඟ දැන්
දැන ගන්න මම දන්නවා කියා...
හැමදාම ළඟ ඉඳන්
කියා දුන් තරමක්
මතකයි මට තවමත්
පිළිගත්තේ නෑ මම නම්
දේදුන්නේ පාටින්
දුටුවා ලෝකය මන්
මතකයි නුඹ හිනැහුණා
සරදමින් මා බොළඳකම්
හෙටත් අද වගේ නම් ඉතින්
නාවත් කමක් නෑ මට 
හෙට ඉරක් සත්තකින්
ආයෙත් මැරෙන්නට
නැහැ පණ බිඳක්වත්


Monday, March 24, 2014

ආඩම්බර බට්ටිච්චී

හිතුවක්කාර කිරිල්ලී
ආඩම්බර බට්ටිච්චී
ඉඟි බිඟි පා යන්නේ රහසේම ඉගිල්ලී
බහක් නොදෙන්නී
බිඳුවක් සිනහ නොවෙන්නී
හිත අරගෙන යන්නේ රහසේම ඉගිල්ලී

සොඳුරු සිතැත්තී
දෑසින් කතා කරන්නී
කොහේ ඉඳන් ආවද මේ පුංචි කිරිල්ලී
තනියම සිනහ සලන්නී
මගේ ඇස් මග ඇර යන්නී
මොහොතක් තව ඉන්නවාද  පුංචි කිරිල්ලී

අවිහිංසක හැඩකාරි
මොනවාද හිත හිත යන්නී
අහන් ඉන්න දුක කියන්න පුංචි කිරිල්ලී
රහසෙම විඳවන්නී
මට නොකියම ඉන්නී
තරහ වෙලා යන්න එපා පුංචි කිරිල්ලී


Saturday, February 15, 2014

පෙම් හසුනක්

මගේ ආදර හිරු කුමරු වෙත,

නුඹේ මුදු රැස් දහර වැදී
හද සලිත වී
පෙම් බැන්දා දුටුවනම
මහා මෙරක් තරමටම.....

සිතුවිලී කවි ගොතන්
දහසකුත් එකක් මම
මද සුළන්ගේ පා කළා
නුඹ නමට ලැබුනාද....

දැන දැනත් නුඹ නිසා
බොහෝ මල් පිපෙන බව
හිතුවේ මම නුඹ මගේමයි
මගේ විතරක්ම.....


ඔච්චමින් මුළු ලොවම
මගේ දෙස බලද්දී
මගේ මුළු ලොවම නුඹ
පමණකි ඇස ගැටුණ....

ඉඳින් හෙට මුකුලිතව
නුඹෙන් සමුගෙන යන්න
හදා ගන්නට මා සිත
බැරිව මම ලතවෙමි....

නැතත් මම හෙට දිනේ
මම වගේ පෙම් කරයි
නුඹ නමින් විකසිත ව
දහසකුත් මල් නුඹට....

එත් හිත කෙලවරේ
එක පුංචි හිස්තැනක
නවතින්න ඉඩ දෙන්න
මගේ පිවිතුරු පෙමට....

මම පුංචි සුදු නෙළුම

Monday, January 27, 2014

යකඩ ගොඩට ජීවිතේ දන් දීම

ආදරේ කියන්නේ විහිළු කරන්න හොඳ මාතෘකාවක් නම් නෙවෙයි. එත් ආදරේ කියන්නේ මොකද්ද කියලා තේරුමක් තිබ්බේ නැති කාලේ මට නම් ඊට වඩා විහිළුවක් තිබ්බේ නැති තරම්. ඉතින් ඒ කාලේ මගේ යාලුවෙකුට අපි පොඩි විහිළුවක් කළා. හැබැයි වෙලාවට දුර දිග ගියේ නම් නෑ.

ඒ යාළුවා ශාන්. ටිකක් කෙට්ටුයි. හැබැයි පුදුම කටක් තිබ්බේ. වෙලාව බලලා ඕනෑ නැති කතා කියන්න නම් පුදුම හැකියාවක් තිබ්බේ. පොඩි කාලේ අපි එකම ඉස්කෝලේ ඉගෙන ගත්තාට A/L කරන්න ගියේ ස්කොල දෙකකට. ශාන් ගියේ මිශ්‍ර පාසලකට. ඒක තිබ්බේ රත්නපුර ටවුන් එකෙන් ටිකක් ඈතට වෙන්න. එත් සති අන්තයේ class එකක අපි meet වෙනවා. class ඇරිලා ගෙදර යද්දී bus එකේ ශාන් ඒක එක පණ්ඩිත කතා කියනවා. කෙල්ලන්ගේ හැටි, කෙල්ලේක්ගෙන් යාලුවෙන්න අහන හැටි, ආදරය කරන හැටි මේවා තමා ශාන් ගේ මාතෘකා වෙන්නේ. මොන පණ්ඩිත කතා කිව්වත් ශාන්ට කෙල්ලෙක් හිටියෙත් නෑ.

 මෙහෙම යද්දී සතියේ දවසක මමයි මගේ යාළුවයි යන class එකකදී ( ඒකට ශාන් එන්නේ නෑ ) ශාන්ගේ ඉස්කෝලේ girl කෙනෙක් අපිට meet වුණා ටිකක් මහත කළුකෙනෙක්. class ආවේ රතු පාට car එකකින්  නිකමට වගේ අපි අහලා බැලුවා ශාන්ව දන්නවද කියලා. එයා ටිකක් වෙලා කල්පනා කරලා ඔව් කිව්වා. ඒ ළමයා වැඩි කතාවක් නෑ  කියලත් කිව්වා. අපිට part දැම්මට මේකා ඉස්කෝලේ ඉන්නේ ශාන්ත දාන්ත තීන්ත කුඩුව වගේනේ.

ඒ සති අන්තයේ අපි ශාන්ගෙනුත් ඒ girl ගැන ඇහුවා. ශාන් කොහොම හරි ඒක wrong side තමයි ගත්තේ. එයාට හිතුනේ ඒ girl එයා ගැන අහලා කියලා. අපිත් ඒ විදිහටම හිටියා. පස්සේ අපි ඒ girlට කිව්වා ශාන්ගෙන් අපිව අඳුරනවද අහන්න කියලා. අපි මතක් කලා කියන්න කියලත් කිව්වා. ඒ weekend එකේ ශාන්ට කිව්වා ඒ girl ඔයා එක්ක කතා කරන්න ආශාවෙන් ඉන්නේ කතා කරන්න කියලා. පව් කියලත් කිව්වා.

කොච්චර පණ්ඩිත කතා කිව්වත් ශාන් ඒ girl දැක්කම හැන්ගේනවලු. එයා හිතන් ඇත්තේ ඒ girl එයාගෙන් යාලු වෙන්න අහන්න හදනවා කියලා. අපිට ඒ girl කියනවා අනේ ඒ කොල්ලා මම දැක්කම දුවනවා කියලා.
අපිට මැරෙන්න හිනා.

මේ විදියට සති කීපයක් ගියා. දැන් නම් ශාන් full සීරියස්. කතාවත් අඩුයි මූඩ් ගහලා පැත්තක් අල්ලන් ඉන්නවා. අපි කිව්වා පව් ඒ girl ඔයාට ගොඩක් කැමතියි. එයාට රතු පාට car එකකුත් තියෙයි කියලා. මේකා මුණ බේරී කරන් කියනවා. "කල්පනා කලා බන් එත් යකඩ ගොඩකට පුලුවන්ද ජීවිතේ දැන් දෙන්න කියලා"
අපිට ඒක අහලා හොඳටම හිනා. කොහොම වුණත් දුර දිග යන්න කලින් අපි joke එක නතර කලා.

Friday, January 24, 2014

මා දෙස නෙත් නොපියා බලාපු

කාලෙන් කාලෙට ජීවිතේට එක එක පිස්සු ඇවිල්ලා යනවනේ. මගේ ජීවිතේ එහෙම පිස්සු වලින් පිරිලා තියෙන ලෝකයක්. වැඩියෙන්ම පිස්සු තිබ්බේ A/L කාලේ. එහින්දම A/L ගොඩ දාන්න තුන් පාරක්ම විභාගේ ලියන්න වුණා.

ඒ කාලේ අහම්බෙන්  මට රොමේෂ් අයියයි ලක්ෂාන් අයියායි sing කරන මා දෙස නෙත් නොපියා බලාපු song එක අහන්න ලැබුණා. ඒ කාලේ එයාලා එච්චරටම famous නෑ. එ හින්දා song එක ඇහුවට කියන්නේ කවුද කියලා මට හොයාගන්න බැරි වුණා. එත් මම ඒ song එකට මාරම ආසා වුණා.

කොහොම හරි හොයාගෙන හොයාගෙන යනකොට ගායකයෝ දෙන්නාගේ විස්තර විතරක් නෙමෙයි phone numbers දෙකත් මට හොයා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ සතියේ මම බෝඩිමට ආවේ ඉගිල්ලිලා. දැන් බෝඩිමේ කට්ටියත් එක්ක set වෙලා මොකද්ද කරන්නේ කියලා කල්පනා කරනවා. එකපාරටම call කරන එක හරි නැති නිසා msg එකක් දාමු කියලා තමයි හැමෝගෙම අදහස වුණේ. ඉතින් කට්ටියත් එක්කම msg එක type කලා.

Hi Romesh Ayye,
Oyage voice eka harima lassanayi.
Oyage songs valata mama godak asayi.
Oyage Future ekata mama wish karanava.
Mama Sithmi Nangi
දැන් msg එකට reply එනකල් අපි බලන් ඉන්නවා. පැයක් දෙකක් ගියා. කිසිම ප්‍රතිචාරයක් නෑ. අපිට මාර දුකයි. පස්සේ අපි ලක්ෂාන් අය්යාටත් same msg එකම නම වෙනස් කරලා send කලා.
Hi Lakshan Ayye,Oyage voice eka harima lassanayi.Oyage songs valata mama godak asayi.Oyage Future ekata mama wish karanava.Mama Sithmi Nangi

msg එක send කරලා ටික වෙලාවයි ලක්ෂාන් අය්යා නම් reply කලා. Thank u very much Nangiyo කියලා. දැන් අපට මාර happy. එත් රොමේෂ් අය්යා එක්ක චුට්ටක් විතර තරහයි. ඒ හින්දා වෙච්ච දේ කියලා අපි ආයෙත් ලක්ෂාන් අය්යාට msg එකක් දැම්මා.

Hi Lakshan Ayya
Oya hari honday.
Romesh ayya nam harima adambarayi.
Eya mata reply kale ne.
Sithmi Nangi
ඒ msg එක යවලා ටික වෙලාවකින් රොමේෂ් අය්යා අපිට reply කලා. Thanks Nangi කියලා. වුණේ මොකක්ද කියලා නම් තාමත් දන්නේ නෑ. එත් අපිට ලජ්ජා හිතුණා. ඒ නිසා ආයේ ඒ numbers දිහා බැලුවේවත් නෑ. දැන් රොමේෂ් අයියා ලක්ෂාන් අයියා එක්ක sing කරන්නේ නැති වුණත් එයාගේ song අහද්දී මට වෙච්ච දේ මතක් වෙලා තනියම හිනා යනවා.

Wednesday, January 22, 2014

මේ මොහොතේ ඉන්න

හිත කියන්නේ මහා පුදුම දෙයක්. එක තැනක නතර වෙන්නෙම නෑ. අකමැති තැනක තියා  ගෙන ඉන්න නම් කොහොමත් බෑ. කැමති දේවල් හොයාගෙන ඉගිල්ලිලා යනවා. ඇත්තටම මේ වගේ රස්නේ දවස් වල, A/C එකත් කැඩිලා තියෙද්දී, හෝල් එක පිරෙන්න ළමයි ඉද්දී කොච්චර වැදගත් වුණත් මගේ හිත නම් lecture එකේ නතර වෙන්නෙම නෑ. මටත් හොරෙන් ලෝකේ වටේම රවුම් ගහලා එන මගේ හිත වෙලාවකට මට නම් මහා කරදරයක්. එක තව වැඩි වෙන්නේ lecturer අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වුණාම.

ඔන්න ඔහොම මම ඒක lecture එකක අමාරුවෙන් ඉද්දි, lecturer කිව්වා මම lectures අහන් ඉන්න ලේසි ක්‍රමයක් කියල දෙන්නම් ඔයාලා try කරලා බලන්න කියලා.

විනාඩියකට ඇස් පියාගෙන හිතන්න ඔයාගේ දෙපැත්තෙන් පෙට්ටි දෙකක් තියෙයි කියලා. එක පෙට්ටියක් ඔයාගේ past එක, අනිත් පෙට්ටිය ඔයාගේ future එක. දැන් හිතට කැමති දෙයක් හිතෙන්න දෙන්න. හිතෙන දේ අයිති past එකට නම් එක ඒ පෙට්ටියට දාන්න. හිතෙන දේ අයිති future එකට නම් එක ඒ පෙට්ටියට දාන්න කියලා. ඔයා දැන් ඉන්නේ මේ මොහොතේ. මේ මොහොතේ ජිවත් වෙන්න.
කියලා  lecturer කිව්වා.

ඇත්ත තමයි කියලා මටත් හිතුණා. අපි හැමවෙලේම අතීත මල්ලයි අනාගත මල්ලයි කර ගහගෙන ජීවිත ගමන යන නිසා වෙහෙස වැඩි. ටික වෙලාවකට ඒ මලු බිමින් තියල බලන්න කොච්චර සැහැල්ලුවක්ද දැනෙන්නේ කියලා.

Sunday, January 19, 2014

හඬන සිත

මේ කඳුළු මට හොඳයි
බොරු සිනහ නම් එපා
මේ තනිය මට හොඳයි
ළඟ නැතිවට හේතු එපා
අද දවස ගෙවෙයි
හෙට නුපුරුදු හීන මට එපා
මගේ හිතට හරි බරයි
තව දුක් වේදනාවන් එපා





හිතුවක්කාර නම් තමයි
මගේ හිත අහිංසකයි
පොඩි දේටත් අඬා වැටෙයි
නුඹේ ඔය වචන හරි රළුයි
මගේ තුන් හිතම තිගැස්සෙයි

හෙට නාවොතින් හොඳයි
සත්තයි හිතට හරි බයයි
හද ඒ තරම් ගැහෙයි
ඒ හඬ නුඹට නොමඇසෙයි
මගේ ආත්මයම වැළපෙයි 

Friday, January 17, 2014

අරෝග්‍යා පරමා ලාභා

මම ආයෙත් පාරක් ඇස් ඇරලා ඔරලෝසුව දිහා බැලුවා. වෙලාව ප.ව. 2.20. මගේ මුළු ඇඟේන්ම මට වාරු මගේ ඇස් දෙක විතරයි. ඇස් ඇරියමත් කෙලින්ම පෙනුනේ ඉස්පිරිතාල බිත්තියේ ගහලා තිබ්බ ඔරලෝසුව. එකේත් කටු කැරකුණේ ගොලුබෙල්ලෙක් යනවටත් වැඩ හෙමින්.

සනීප කරන්න පුළුවන් නම් කොච්චර අමාරු  ලෙඩක් හැදුනත් කමක් නෑ එත් ඇයි මේ මට හොයා ගන්නවත් බැරි ලෙඩක් හැදුනේ. මට කෑ ගහලා අඬන්න ඕනි වුණත්. එකටවත් හයියක් තිබුණේ නෑ. යන්තම් ඇඟට පණක් දැනුන ගමන් ඊයේ කැම්පස් එකට දුවගෙන ආවේ අතපසු වෙලා තිබ්බ වැඩ ටික කොහොම හරි කර ගන්න. එත් මට වුණේ ඉස්පිරිතාලේ ලගින්න. මම ඇස් පිය ගත්තා. මට පෙනුනේ අම්මාගේ මුණ. පහුගිය කාලෙම මට කොච්චර බෙහෙත් කලාද? ඒ කලේ අම්මා හරියට දුක් වින්දා. සැරෙන් සැරේ මම වේදනාවෙන් කෑ ගහද්දි අම්මා ළඟටම වෙලා ඔලුව අත ගෑවා. දැන් අම්මා මොනවා කරනවා ඇතිද. මං ගැන හිත හිත දුක් විඳිනවා ඇති.

මම ආයෙත් පාරක් ඇස් ඇරලා බැලුවා. වෙලාව  ප.ව. 2.30. මම හිතුවේ පැයක් විතර ගියා කියලා. තව කොච්චර වෙලා තියෙනවද රෑ වෙන්න. මම යන්තම් ඔලුව කරකවලා බැලුවා. සේලයින් බෝතලේන් බාගයක්ම ඉවර වෙලා. බිංදු බිංදු සේලයින් බටේට වැටෙනවා. එකත් ඉක්මනට ඉවර වෙන එකක් නෑ. කොහොම හරි නිදා ගන්න ඕනි ලෙඩ්ඩු බලන්න එන වෙලාවට ඇහැරෙන්න පුළුවන්නේ. මම ඇස් තද කරලා පිය ගත්තා.

මට ඇහැරුනේ අම්මා ඇවිත් කතා කලාම. තාත්තත් ඇවිත්, අක්කයි නංගිලා දෙන්නත් එක්කරන් ඇවිත්. මට දැනුනේ පුදුම සතුටක්. දැන් නම් මැරුණත් කමක් නෑ කියල හිතුණා. මට ඕනි වුණේ ඇඳ උඩ ඉඳ ගන්න. පොඩ්ඩක් හැරුණා විතරයි. අම්මෝ දැනුන කැක්කුමට මාව උඩ ගිහින් ඇහැරුණා. ඔරලෝසුව වෙලාව ප.ව.3.00.  කාගේද අඩි සද්දයක් ඈතින් ඇහෙනවා. හ්ම්ම්ම් දොස්තර වෙන්න ඇති. ලෙඩ්ඩු බලන්න එන්න තව වෙලා තියෙනවනේ. අනික අම්මලා කොහොමද රෑ වෙලා මාව බලන්න කොළඹ එන්නේ. හෙට උදේම එයි. මම ආයෙත් ඇස් පියා ගත්තා.

Tuesday, January 14, 2014

සම්බෝලයි පරිප්පුයි බතුයි

ගෑණු ළමයෙක් වුණාම උයන්නපිහන්න ඉගෙන ගන්න ඕනිනේ. සමාජ සම්මතය ඒකනේ. මාත් ඒකට විරුද්ධ නෑ. එත් මට උසස් පෙළ කරන කාලෙත් ඒ තරම් දෙයක් උයාගන්න පුළුවන් කමක් තිබුණේ නෑ. ඒ ගැන නම් ඇත්තටම ලජ්ජා වෙනවා. 
ඒ කාලේ මම නතර වෙලා හිටියේ රත්නපුරේ බෝඩිමක. අපි හතර දෙනෙක්ම හිටියා. බෝඩිමේ ඇන්ටි නම් හරිම අරපිරිමැස්මෙන් තමයි වැඩ කලේ. හතර දෙනෙක් හිටියට කන්න දුන්නේ තුන්දෙනෙකුට විතර. ඒ කාලේ වැඩිපුර මාළු කෑල්ලක් එහෙම ලැබෙන එකත් හීනයක් තමයි. ළඟ පාත කඩයක් එහෙම තිබ්බෙත් නැති හින්දා බඩගින්නේ හිටපු දවස් ඕනෑ තරම් තිබුණා.
දවසක් ඇන්ටිට හදිස්සියේම ගමනක් ගියා. එදා බෝඩිමේ හිටියේ මම විතරයි. යන්න කලින් ඇන්ටි මට කතා කරලා කිව්වා
 "පුතේ, රෑට කන්න මොන හරි හදා ගන්න කියලා"
දැන් ඉතින් මොනා කරන්නද? මම හදන්න දන්නේ සම්බෝලයි පරිපුයි බතුයි විතරයි. කමක් නෑ පුළුවන් විදිහට හදාගෙන කනවා කියල හිතා ගත්තා. කොහොම හරි ඔන්න උයන්න පටන් ගතතා. උයන්න දන්නවා වුණාට උයන්න ඕනි තරමක් මම දැන ගෙන හිටියේ නෑ. බත් උයලා පරිප්පුයි සම්බෝලයි හැදුවා.

ම්ම්ම් මාර වැඩේනේ මම ගොඩාක් උයලා. දැන් කොහොමද මේ ඔක්කොම කන්නේ? මොනා කරන්නද පුළුවන් තරම් කාලා. ඉතිරි ටික වහලා තිබ්බා.

පහුවෙනිදා ඇන්ටි බනි කියල බයේ ඉන්න කොට මට ඇහුණා ඇන්ටි එයාගේ දුවට කියනවා
" පව් පුතේ අක්කා ගමටම කන්න උයලා කියලා" 

ඇන්ටි මට බැන්නේ නම් නෑ. එත් ආයේ කවදාවත් උයන්න කිව්වේ නම් නෑ. 

දැන් නම් මට හොඳට උයන්න පුළුවන් හැමදාම සම්බෝලයි පරිප්පුයි බතුයි කද්දී නම් මේ වෙච්ච දේ අමතක වෙන්නේ නෑ.

Thursday, January 9, 2014

සෙල්ලම් හා පැටියා

මට පුංචි කලේ අම්මා ඉල්ලන දේවල් ලේසියෙන් ගෙනත් දුන්නේ නෑ. ඒ ඉල්ලන හැමදේම දෙන්න බැරි බව මට තේරෙන්න අරින්න. එහෙම කියලා මම එක එක ඒවා ඉල්ලන එක නතර කලෙත් නෑ. අම්මා කියන්නේ මාත් එක්ක කඩේකට යන්න බයයි කියලා. මම කඩේ තියෙන දේවල් හොඳට බලලා මට ඕනි සෙල්ලම් බඩු එහෙම කඩේ නම එක්ක මතක තියා ගන්නවා. ගෙදර අවාම ඒවා ඉල්ලලා කරදර කරනවා. එත් ලේසියට ගෙනත් දෙන්නේ නම් නෑ.

දවසක් ඉස්කෝලේ යද්දී මම දැක්කා කඩේක ඉස්සරහ හුලං පුම්බන හා පැටියෙක් විකුණන්න ඉන්නවා. මට කොහොම හරි මේ හා පැටියව ඕනි වුණා. කොච්චරක් කිවාත් අම්මා නම් හා පැටියා අරගෙන දුන්නේ නෑ. මතකයි නංගිටත් එක්කරන් ගිහින් හා පැටියව පෙන්නුවා. උදේ ඉස්කෝලේ යද්දී හවසට එද්දී හැමදාම හා පැටියා දිහා බල බල තමයි ගියේ. කොච්චර ඉල්ලුවත් අරගෙන දෙන්නේ නැති නිසා ආසාව අත් ඇරලා තමයි හිටියේ.

ඔය අස්සේ එක පාරටම මට උණ ගැනිලා ගොඩක් අමාරු වුණා. දවසම ඇඳට වෙලා නිදාගෙන හිටියේ. එක පාරටම ඇස් ඇරලා බලද්දී හා පැටියා මගේ කොට්ටේ ගාව හිටියා. අම්මා හා පැටියව ගෙනල්ලා. මට දැනුන සතුට ඉවරයක් නෑ. සනීප වෙන්න ටික දවසක් ගියත් ඒ පාර නම් ලෙඩ වුණ එක ගැන මට තිබුණේ සතුටක්. ගොඩක් කල් ඒ හා පැටියා මගේ ළඟ තනියට හිටියා.

Sunday, January 5, 2014

ජීවිතය නැති කරගැනීම

මට නම් දැන් එපා වෙලා ... මොකටද මෙහෙම ජීවත් වෙන්නේ මැරෙන එක හොඳයි මීට වඩා. මගේ උඩු හිත කෑගහනවා මට ඇසෙයි.

ඇයි එපා වෙලා තියෙන්නේ .... ඔයාට මොනවාද නැති වෙලා තියෙන්නේ ? මගේ යටි හිත උඩු හිතෙන් අසයි.

මට මොනවාද තියෙන්නේ ? කවුද මට ඉන්නේ . හැමෝටම මාව එපා වෙලා. උඩු හිත ආයෙත් මොර දෙයි

ඇයි ඔයාගේ අම්මා තාත්තා අක්කා නංගිලා අර තඩි පුසා නූටු. එයාලා ඔයාගේ නෙමෙයිද? එයාලාට ඔයාව පොඩ්ඩක්වත් එපා වෙලා තියෙනවද? ඔයාට මොනවාද නැති වෙලා තියෙන්නේ? ඔයා හොඳයි. හොඳට ඉගෙන ගෙන තියනවා. තව ටික කාලෙකින් හොඳ ජොබ් එකක් කරාවි.  යටි හිතෙන් උත්තර වැලක්ම දෙයි.

ඒ වුණාට ජීවිතේ කියන්නේ ප්‍රශ්න ගොඩක්. මැරෙන එක හොඳයි ජීවත් වෙනවට වඩා. උඩු හිත කියයි.

ඔව් ජීවිතේ කියන්නේ ප්‍රශ්න ගොඩක්. සාර්ථකව ජීවත් වෙනවා කියන්නේ ඒ ප්‍රශ්න වලට හරියන උත්තර හොයන එක. උපාධි ඩිප්ලෝමා තිබ්බට ඒවාට උත්තර හොයන්න බෑ. එත් බලන්න පාරේ හිඟා කන මිනිහා ගාව ඒ ප්‍රශ්න වලට උත්තර තියෙනවා. එකයි ඒ මිනිහ හිඟා කකා හරි ජීවත් වෙන්නේ. යටි හිත කියාගෙන යයි.

ඉතින් මම මොළේ නැති කෙනෙක්ද ඇයි මට බැරි මගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න. උඩු හිත කල්පනා කරයි.

ඔව් ඔයාට පුළුවන් මෙච්චර කාලයක් හිටියා වගේ ලස්සනට ජීවත් වෙන්න. මතකද පොඩි කාලේ ඔයා පරාද වෙන්න කැමති නෑ. කොහොම හරි මහන්සි වෙලා දිනනවා. ඒ වගේ ජීවිතෙත් දිනන්න. යටි හිත දිරිමත් කරයි.

ඔව් මම ජීවත් වෙනවා මම මොකටද මැරෙන්නේ . මම මැරුනොත් හැමෝම කියයි මම බය ගුල්ලියක් කියලා.
උඩු හිත මාව තවත් දිරිමත් කරයි.

හ්ම්ම්ම් මොනවා වුණත් ආපස්සට කල්පනා කරද්දී ජීවිතේ හරි සුන්දරයි.