Monday, September 22, 2014

මුල්ම මතකයන්

මේ ළඟදී දවසක් මම මගේ හිතේ පත්ලටම එබිකම් කරලා බැලුවා. ඒක හරියට මතක පොතක් වගේ. එත් මුල්ම පිටු ටික නම් පැහැදිලි මදි. ඒ අපැහැදිලි පිටුවල තියෙන ලස්සන මතකයන් මම දැන ගත්තේ අම්මගෙන්.
ඔයා ඉපදුනේ රටේ හරියට කලබල තියෙන කාලෙක. ඒ හින්දා නගරේ තිබ්බ ඉස්පිරිතාලෙට යන්න බැරි වුණා. ගමේ ඉස්පිරිතාලේ තමයි ඔයා ඉපදුනේ. ඔයා ඉපදෙනකොට ටිකක් වැඩියෙන් අමාරු වුණා. ඔයාගේ ඔලුව ඇඟට වඩා ලොකුයි. දොස්තරත් බය වෙලා කිව්වා බබා මන්ද බුද්ධික ද දන්නේ නෑ කියලා.
ජීවිතේ වැඩියෙන්ම ශාරීරික වේදනාව වින්ද දවස වුණත් අම්මා ඒ දවස ගැන මතක් කරන්නේ හරිම සතුටෙන්.
අම්මාගෙන් වැඩි පුරම කිරි බීලා තියෙන්නෙත් මමලු. අම්මා එහෙම කියන්නේ හිනා වෙලා. එත් මට ඒ ගැන පුංචිවත් මතකයක් නම් නෑ.

අම්මා කියනවා මම හරි දඟයිලු. මටත් මතකයි යන්තමින් ඇවිදිනවා. ඒ කලේ මම අඳින්න ආසම රතු පාට කලිසමක් තිබ්බා කියලා නම් හොඳට මතකයි. මාව බලාගන්න ගෙදර පුංචි අම්මා කියලා කෙනෙක් හිටියලු.
එයා කලුයි කියලා නම් මට හොඳට මතකයි.

අම්මා මට පුංචි කලේ රෝස පාට සපත්තු දෙකකුයි රතුපාට මේස් දෙකකුයි ගෙනත් දුන්නා. මම ඒවා දාගෙන අම්මලාගේ ගමේ ගෙදර ගියා. තාත්තා අක්කාව වඩා ගෙන යද්දී අම්මා තමයි මාව වඩාගෙන ගියේ. ඒ කාලේ මම හිතුවේ අක්කා තාත්තගේ මම අම්මාගේ කියලා.

මේ අපැහැදිලි මතක පිටු අතර පැහැදලි මතක පිටුවක් තියෙන්නේ ලොකු නංගි ඉපදුන දවස. එයා ඉපදුනේ මගේ තුන් වෙනි උපන්දිනය දවසේ. ඒ හින්දා හැමෝම කිව්වේ එයා  මගේ උපන්දින තෑග්ග කියලා. මම ඉතින් ගොඩක් සතුටෙන් හිටියේ . මට හොඳට මතකයි එයාව ආච්චි අම්මා වඩාගෙන ගෙදරට එක්කරගෙන ආව හැටි.

කොච්චර පිළිවෙලට තියා ගන්න හැදුවත් මතක පොත නම් හරිම අපිළිවෙලයි. එත් පුංචි කාලේ මතක නම් හරිම ලස්සනයි අහිංසකයි





No comments:

Post a Comment