Wednesday, September 25, 2013

Supper Star

Super Star උණුසුම තදටම තිබුණේ මම A/L කරන කලේ. එත් අභාග්‍යයට වගේ අදාල channel එක අපේ ගෙදරට පෙනුනේ නෑ. ඒ හින්දම මට ඒ උණුසුම දැනුනේ ටිකක් අඩුවෙන්. එත් ඉතින් හැමෝම ඒක ගැන කියවන කොට මටත් පැත්තකට වෙලා ඉන්න බැරි වුණා. ඉස්කෝලේ මට අල්ලපු පුටුවේ හිටපු යාලුවට Super Star උණ තදටම තිබුණා. එයා තමයි මටත් බෝ කලේ.

එයා ඒ දවස්වල වචන 10ක් කිව්වොත් 8ක්ම "ශිහාන්"

කවුද මේ "ශිහාන්"

පස්සේ එයා මට පත්තරේක තිබුණ photo එකක් පෙන්නුවා. හ්ම්ම්ම් ලස්සන කොල්ලෙක්. ඔන්න මටත් ටික ටික රෝග ලක්ෂණ පහල වුණා. මේ සතියේ නම් කොහොම හරි Super Star බලන්න ඕනේ මම එහෙම හිතුවා. ඇන්ටනාව කරකවලා උස්සලා යන්තම් අර channel එක පෙන්න හදා ගත්තා. එත් ඉතින් පෙන්නේ හොල්මන් වගේ. කමක් නෑ එහෙම හරි පේනවනේ.

ඔන්න ඉතින් රෑ ඇහැරලා වෙලාවට ඇස් කට අයාගෙන TV එක දිහා බලාගෙන හිටියා. මෙන්න  ශිහාන් අයින් කරන දෙන්නට තේරිලා. වෙන්න බැනේ. අනේ මන්දා මේකේ හරියට පේන්නෙත් නෑනේ.

මෙන්න ශිහාන් අයින් වෙනවා....වෙන්න බෑ.

"ඇස් දෙක පියාන නිදා ගන්න මට බෑ බෑ බෑ" මේ මොකද වෙන්නේ මටත් බෑ බෑ වගේ වුණා.

පහුවෙනිදට ඉස්කෝලෙම මළ ගෙදර වගේ. මටත් ඇඩෙන්න වගේ. කට්ටිය මට බනිනවා. මම බලපු නිසා තමයි එහෙම වුණේ කියලා. අපරාදේ.


ශිහාන් අයින් වුණත් පිස්සුව අඩු වුණේ නෑ. තව තව වැඩි වුණා. පත්තර වල ගිය photo විතරක් නෙමේ සල්ලි දීලත් photo අර ගත්තා. අල්මාරියේ දොර ඇතුලෙන් ශිහන්ගේ ලොකු photo එකක් ඇලෙව්වා. කාමරේ දොර ඇතුලෙනුත් තව photo එකක් ඇලෙව්වා. එතකොට මට විතරනේ පෙන්නේ. ම්ම්ම් purse එකටත් එයාගේ චූටී photo එකක් දා ගත්තා. ඒ හැමදේකින්ම  මට අහිංසක සතුටක් ලැබුණේ.  එත් කාලයත් එක්ක ඒ පිස්සුව ටික ටික අඩු වෙලා ගියා. ශිහාන්ගේ සින්දු වලට නම් තාම ආසයි හැබැයි.

Monday, September 9, 2013

Toilets and Bathrooms

අද ඉතාමත් විශේෂ දවසක් . ඒ මොකද අද අපේ හොස්ටල් එකේ අළුත්වැඩියා කරන ලද toilets and bathrooms සුබ මොහොතින් විවෘත කරනවලු. කණගාටු දායක සිදු වීම නම් මට ඒකට සහභාගි වීමට නොලැබීමයි.

අදින් මාස හයකට කලින් දවසක බෑ බෑ කියලා අඩද්දී අම්මයි තාත්තයි අක්කයි මාව මේ හොස්ටල් මන්දිරයට ගෙනත් ඇරලුවා. නියම බූත බංගලාවක් මට හිතුනේ එහෙම. දොරවල් ඇරෙද්දි කර කර ගාලා සද්ද ඇහෙනවා. දඩාංන් ගාලා ජනෙල්  වැහෙනවා. එකේ ඉන්න කට්ටිය නියම හොල්මන්. හිනා වෙන්නේ නෑ බැරිවෙලාවත්.

මම ඇවිත් සතියකින් යන්න තිබ්බ  toilets and bathrooms repair කරන්න ගත්තා. හපොයි ඊට පස්සේ හැමදාම ඈත තිබ්බ bathroom එකකට යන්න වුණා. හොස්ටල් එකේ හිටපු ඔක්කොම ආවේ එතනට. එක එක විදිහේ කට්ටිය. හැමෝගෙම ඇත්තම ස්වරුපය බලන්න නම් එතනට තමයි එන්න ඕනේ.බාල්දි තියාගෙන කට්ටිය පෝලිමේ. ඔක්කොටම තිබ්බේ bathroom 3යි.   සමහර අයගේ නම් සංගම් තිබ්බා. මම නම් බුම්මන් පැත්තකට වෙලා හිටියා.

මාස 2න් හදනවා කිව්වා bathroom හදන්න මාස පහක් විතර ගියා. තව සතියක් ගිය එක විවෘත කරන කෙනාට රට ඉඳල එන්න. අනේ මන්ද මට කිව්වා නම් කරදර නැතිවම  විවෘත කරනවා. හැමදාම උදේට ප්ලිමේ ඉද්දි බලෙන්ම ගිහින් විවෘත කරන්න ඕනෑ තරම් හිතිලා තියෙනවා. කොහෙද තඩි ඉබ්බෙක් දාලනේ. කොහොම හරි මම මේ මාසේ අග හොස්ටල් එකෙන් අයින් වෙන්න කලින් අළුතෙන් හදපු toilet එකකට යන්න ලැබෙන එක නම් වාසනාවක්.

Wednesday, September 4, 2013

අපි පරාදයි

මම ඉස්සර නෙට් බෝල් සෙල්ලම් කරන්න ගොඩක් අසාවෙන් හිටියේ. මම ටිකක් අනිත් අයට වඩා වයස අඩු හින්දා වයස හරියන කල් ටිකක් ඉන්න වුණා. කොහොම හරි මහන්සි වෙලා නිවාසාන්තර තරඟයක 13න් පහළ කණ්ඩායමට යන්න මට පුළුවන් වුණා. ඒ දවස් වල මම හැමදාම පුහුණු වීම් වලට ගියා. කණ්ඩායම් හැඟීම උතුරලා යන්න. කන්නේ බොන්නෙත් ටීම් එකේ කට්ටිය එක්ක.

කොච්චර වැටුණාත් තුවාල වුණත් කවදාවත් පුහුණු වීම් නම් අත ඇරියේ නෑ. අම්මා බනිනවා ගෙදර ගියාම. ඇඳුම් වල මඩ ගාගෙන එනවා මට බෑ හෝදන්න කියලා. ආච්චි අම්මා තෙල් බෝතලේ අතේ තියන් ඉන්නේ හවසට ගාලා අත ගන්න. අනිත් අයට වඩා මම චුටි නිසා මට ගොඩක් මහන්සි  වෙන්න වුණා.

ඔන්න මැච් එක තියෙන දවස. අපි දිනයි කියල හැමෝම බලාගෙන හිටියේ. මුලින් අපි හොඳට සෙල්ලම් කළා. එත් අග හරියේ අපට මැච් එක අත ඇරුණා. අනිත් ටීම් එක ලකුණින් ලකුණ වැඩි වෙද්දී අපි මානසික මට්ටමත් ටික ටික බිම වැටුණා. කවදාවත් පරාද වෙලා නැති මට දරා ගන්නම බැරි වුණා. ඇස් වලින් කඳුළු බේරෙන්න ගත්තා. කට්ටිය පිටට තට්ටු කර කර මාව ෂේප් කරන්න හැදුවා. මැච් එක ඉවර වුණා. මම අඬා ගෙනම අම්මා ගාවට ගියා. ගොඩක් ඇඩුවා. අම්මා ඔලුව අත ගාලා කිව්වා." එහෙම තමයි පුතේ තරඟයක් වුණාම  කට්ටියක් දිනනවා කට්ටියක් පරදිනවා "කියලා.

එදා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ජිවිතේ හැමදාම දිනන්න බෑ. පරාද වෙන්නත් පුළුවන්. අපි දින්නත් පරාද වුණත් අපිට ආදරේ කරන අය අපිව අත අරින්නේ නෑ. වැදගත් වෙන්නේ අපි ලබන අත්දැකීමයි.