Monday, September 22, 2014

මුල්ම මතකයන්

මේ ළඟදී දවසක් මම මගේ හිතේ පත්ලටම එබිකම් කරලා බැලුවා. ඒක හරියට මතක පොතක් වගේ. එත් මුල්ම පිටු ටික නම් පැහැදිලි මදි. ඒ අපැහැදිලි පිටුවල තියෙන ලස්සන මතකයන් මම දැන ගත්තේ අම්මගෙන්.
ඔයා ඉපදුනේ රටේ හරියට කලබල තියෙන කාලෙක. ඒ හින්දා නගරේ තිබ්බ ඉස්පිරිතාලෙට යන්න බැරි වුණා. ගමේ ඉස්පිරිතාලේ තමයි ඔයා ඉපදුනේ. ඔයා ඉපදෙනකොට ටිකක් වැඩියෙන් අමාරු වුණා. ඔයාගේ ඔලුව ඇඟට වඩා ලොකුයි. දොස්තරත් බය වෙලා කිව්වා බබා මන්ද බුද්ධික ද දන්නේ නෑ කියලා.
ජීවිතේ වැඩියෙන්ම ශාරීරික වේදනාව වින්ද දවස වුණත් අම්මා ඒ දවස ගැන මතක් කරන්නේ හරිම සතුටෙන්.
අම්මාගෙන් වැඩි පුරම කිරි බීලා තියෙන්නෙත් මමලු. අම්මා එහෙම කියන්නේ හිනා වෙලා. එත් මට ඒ ගැන පුංචිවත් මතකයක් නම් නෑ.

අම්මා කියනවා මම හරි දඟයිලු. මටත් මතකයි යන්තමින් ඇවිදිනවා. ඒ කලේ මම අඳින්න ආසම රතු පාට කලිසමක් තිබ්බා කියලා නම් හොඳට මතකයි. මාව බලාගන්න ගෙදර පුංචි අම්මා කියලා කෙනෙක් හිටියලු.
එයා කලුයි කියලා නම් මට හොඳට මතකයි.

අම්මා මට පුංචි කලේ රෝස පාට සපත්තු දෙකකුයි රතුපාට මේස් දෙකකුයි ගෙනත් දුන්නා. මම ඒවා දාගෙන අම්මලාගේ ගමේ ගෙදර ගියා. තාත්තා අක්කාව වඩා ගෙන යද්දී අම්මා තමයි මාව වඩාගෙන ගියේ. ඒ කාලේ මම හිතුවේ අක්කා තාත්තගේ මම අම්මාගේ කියලා.

මේ අපැහැදිලි මතක පිටු අතර පැහැදලි මතක පිටුවක් තියෙන්නේ ලොකු නංගි ඉපදුන දවස. එයා ඉපදුනේ මගේ තුන් වෙනි උපන්දිනය දවසේ. ඒ හින්දා හැමෝම කිව්වේ එයා  මගේ උපන්දින තෑග්ග කියලා. මම ඉතින් ගොඩක් සතුටෙන් හිටියේ . මට හොඳට මතකයි එයාව ආච්චි අම්මා වඩාගෙන ගෙදරට එක්කරගෙන ආව හැටි.

කොච්චර පිළිවෙලට තියා ගන්න හැදුවත් මතක පොත නම් හරිම අපිළිවෙලයි. එත් පුංචි කාලේ මතක නම් හරිම ලස්සනයි අහිංසකයි





Tuesday, September 16, 2014

ට්‍රයල් පාස් වීම

පුංචි දවස්වල ඉඳන්ම වාහන වලට ඇල්මක් හිතේ කෙලවරකවත් නොතිබුණ හින්දම වාහනයක් පදවන් යන්නේ කොහොමද කියලා පොඩ්ඩක්වත් මම දැනගෙන හිටියේ නෑ. ඇත්තටම මම හිතන් හිටියේ ස්ටියරින් වීල් එක කරකවලා ගියර් එක එහෙට මෙහෙට දැම්මම ඔක්කොම හරි කියලා. අක්කයි නංගියි වාහන පදින්න ලයිසන් ගත්තම මටත් හිතුණා ලයිසන් ගන්න ඕනි කියලා. වැඩ අස්සේ එහාට මෙහාට වෙලා අන්තිමට ඔන්න මටත් ලර්නර්ස් යන්න චාන්ස් එකක් ආවා. මම ගැන ලොකුවට හිතන් උන්නු මම මුලින්ම වාහනේට නැගපු දවසේ තේරුම් ගත්තා මටත් බැරි දේවල් මේ ලෝකේ කොච්චර තියෙනවද කියලා.

පුරුදු වෙන්න වෙලාවක් නොතිබුණාට ට්‍රයල් එක නම් හරියටම දවසට තිබුණා. එත් මට එච්චර බයක් තිබ්බේ නෑ. එක්සැමිනර් මුලින්ම කතා කලේ මට. එතකොට නම් ටික ටික බය දැනෙන ගත්තා. සමහර විට මට වඩා පණ බයක් වාහනේ ඇතුලේ ඉන්න අයට දැනෙන ඇති. ඔන්න මම වාහනේ පදවාගෙන යනවා.

කෝ මට නවත්තන්න කියන්නේ නෑනේ ... ඉස්සරහ වට රවුමක් තියෙයි. මම වට රවුම පදින්න දන්නේ නෑ. දැන්නම් බයයි. හ්ම්ම්ම් මොකද්ද වට රවුමේ නීතිය දකුණෙන් එන වාහන වලට ඉඩ දෙන්න ඕනි. දකුණෙන් වාහන එන්නේ නෑ. මම දැන් වටරවුම ගත්තා. අනේ මෙන්න වාහනේ හැරුණා. දැන් මොකද්ද කරන්නේ.
ඇස් පියා ගන්නවා.

හ්ම්ම්ම් කොහොමද වාහනේ නතර වුනේ???? එක්සැමින හෑන්ඩ් බ්රේක් අද්දා.

මම ට්‍රයල් ෆේල්...  එක්සැමින මොනවාද කොලේ පුරාම ලිව්වා කඳුළු අතරින් මට පෙනුනා. දවසම කට්ට කාලා මම ගෙදර ගියේ හැමෝගෙම බලාපොරොත්තු කඩ කරලා.

හැමෝම එක එක උපදෙස් දුන්නා. කමක් නෑ මම අයෙත් උත්සහ කරලා බලනවා බෑ කියලා හිතන්නෙම නැති මගේ චණ්ඩි හිත එහෙම හිතුවා.

අයෙත් ට්‍රයල්  දැම්මා. දැන් මම දන්නවා තාමත් මම ට්‍රයල් පාස් වෙන්න තරම් හොඳ නෑ කියලා. ඔව් විභාග පාස් වුනාට වාහන එලවන්න බෑ. එත් මට තියෙන්නේ සැලෙන්නේ නැති හිතක්. පොඩි දේවල් වලට ඇඩුවට මගේ හිත ගොඩක් හයියයි.

එදා එක්සමිනමයි එදා වට රවුම මයි  එත් මම ට්‍රයල් පාස්.