Tuesday, January 6, 2015

මද්දුගේ ආදරය

මම දිවා ආහාරය අරගෙන සුපුරුදු ලෙස හාන්සි පුටුවට වී මදක් ඇල වුණෙමි. පාර අද්දර ඇති විශාල ඇසල ගහ යට සදා ඇති බංකුවේ හිඳ ගෙන මද්දු පාර දෙස නෙත් අයා ගෙන සිටී. නෑමෙන් තෙත බරිත වූ ඇයගේ කොණ්ඩය උනා දමා ඇත. වෙනදාට කළු පාටින් දිදුලන ඇයගේ කෙස් කළඹ දැන් බොහෝ දුර්වර්ණ වී ඇත. මද්දු ඉක්මනින් වයසට ගොස් ඇති මට සිතේ. ඇය මේ සිටින්නේපාසල් ඇරී නිවෙස් බලා යන පොඩි දරුවන් එන තුරුය. පාසල් ඇරී තම දරුවා ගෙදර එන තුරු බලා සිටින මවකගේ වයසේ සිටින ඇය අනුන්ගේ දරුවන් දිහා බලමින් සතුටු වන්නීය. මෙය ඇයගේ දින චර්යාවේ අංගයක් බවට පත් කරගෙන ඇත්තේ බොහෝ කාලයක සිටය. ඇයගේ මවද මේ ආකාරයටම ඇය පාසල් ඇරී නිවෙස බලා එනතුරු බැංකුවේ රැඳී වුන් ආකාරය මට තවමත් හොඳින් මතකය.

මගේ දියණියන් තිදෙනාගෙන් ලොක්කිටත් චුට්ටිටත් වඩා මම ආදරේ කලේ මද්දුට බව සැබෑය. කෙල්ලෙක් ලෙස උපන්නද මද්දුට තිබුනේ කොල්ලෙකුගේ හැසිරීමය.කලිසම් කොටයක් ඇදන් ඈ වත්තේ ඇති ගස් බඩ ගෑ අන්දම මට අද ඊයේ මෙන් මතකය. ලොක්කිත් චුට්ටිත් මෙන් ඈ පොඩි දේටත් හොටු පෙරමින් නොහැඩුවාය.එලෙසම අම්මාට වඩා මද්දු සමීප වුයේ මටය." තාත්තාගේ දුවනේ ඉතින්" ඒ දවස් වල මැණිකේ නිතරම මද්දුට කියනවා මට මතකය. ඇයගේ ජීවිතය මේ ආකාරයට කඩා බිඳ දැමුවේ මගේ ආදරයද ඈ මට දැක්වූ ආදරයද තවමත් මට වටහා ගත නොහැක. ඒ නමුත් ඒ ගැන මට ඇත්තේ කිව නොහැකි වේදනාවකි.

මද්දු වැඩිවියට පත් වී නාවා ගෙට ගත් දින පළමු වරට මම ඇය තුලින් ගැහැණු දරුවෙකුගේ රුව දුටුවෙමි. එයින් පසු ඈ වඩාත් තැන්පත් වුවාය. එයින් ගෙදරට වඩා ආලෝකයක් ගෙන ආවද වෙනදා නැති පාළුවක් ඒ අතර සැරිසරුවේය. එය වඩාත් වැඩි වුයේ ලොක්කි දීග දුන් පසුවය. කල වයස හරි ගිය පසු ගැහැණු දරුවෙකු දීග දිය යුතු නමුත් එහිදී දෙමාපියන්ගේ සිතට දැනෙන දුක වචනයෙන් කීමට අපහසුය. කෙසේ නමුත් මද්දු ඉගෙනීමේ කටයුතු හමාර කර නිවසේ නතර වූ බැවින් මගේ සිත තුල වූ පාළුව දුරු විය. එහෙත් සිදු වුයේ වෙනකකි. මද්දු ගමේ කොල්ලෙකු සමග ඇසුරක් පටන් ගත්තාය. මුලින් මම එය විශ්වාස නොකළද දිනක් මගේ ඇස් දෙකින්ම එය දුටුවෙමි. මගේ ජීවිතයේ වඩාත්ම කම්පනයට පත් වූ දවස ඒ දිනය. ඒ ගැන අදටත් මම පසු තැවෙමි. මම මද්දුට තරවටු කළා නම් එය ඇය විඳ දරාගනු ඇත. පහර දුන්නා නම් එයද විඳ දරා ගනු ඇත. එත් මගේ ඇස් වල කඳුළු ඇයට වාවා ගනු නොහැකි වන්නට ඇත. ඇය සමාව ඉල්ලමින් මගේ දෙපා මුල ඇද වැටුණ ආකාරය මට මතකය. ඇය එදා අත් හැර දැමුවේ ඇයගේ ජීවිතයම බව වටහා ගැනීමට මම ප්‍රමාද වුවා වැඩිය. මද්දු සම්බන්ධකම අතහැරිය බව දැන ගත් විට මට දැනුනේ සහනයකි. වඩාත් සහනයක් දැනුනේ එම කොල්ලා වෙන දැරිවියක හා දීග ගිය පසුවය.

මම මද්දුට සෙව්වේ කුමාරයෙකි ඒ ඇය මට කුමරියක් වූ නිසාමය. හමුවූ ඉලන්දරින්ගේ ඇද දැක්කේ මද්දු  නොව මමය. මට වුවමනා වුයේ ඇයට වඩාත් හොඳ ජීවිතයක්  උරුම කර දීමටය. නමුත් මට කොතැනකදී හෝ වැරදුණේය. මගේ වරදට අද වන්දි ගෙවන්නේ මද්දුය. මැණිකේ නොසිතු ලෙස මිය පරලොව යාමත් චුට්ටි හිතු මනාපෙට දීග යෑමත් නිසා මගේ ජීවිතය උන් හිටි ගමන් නතර විය. මෙතුවක් පුරාවට මගේ ජීවිතය වත්තම් කරගෙන ආවේ මද්දුය. මගේ ජීවිතය වෙනුවෙන්ඇය ඇයගේ ජීවිතය අත්හැර දැමුවාය. එහෙත් මගේ හුස්ම තව කී දවසක් පවතී දැයි මම නොදන්නෙමි.  ඒ ගැන මද්දුට අනතුරු හඟවනවා ඇරෙන්න මට වෙන කිසිවක්
කල නොහැකි වී ඇත. මට අවැසි සමාව ගැනිමටය. එහෙත් එයින් පලක් නොවනු ඇත.

"අප්පච්චි"  මද්දු ළඟටම එන තුරු මම නොදැක්කෙමි.
"අද ඉස්කෝලේ නිවාඩුනේ මට අමතක වුණා" ඇය පොඩි දැරිවියක සේ සිනා සෙමින් මා පසුකර ගෙට ගියාය.

No comments:

Post a Comment