Monday, July 8, 2013

කට්ලට් කාපු හැටි

මම පොඩි කාලේ කට්ලට් කන්න හරිම ආසයි. වැඩිය කන්න හම්බ වෙන්නෙත් නැති නිසා චාන්ස් එකක් ආවොත් නම් අත අරින්නෙම නෑ. මට අවුරුදු දහයේදී විතර අපේ ගෙදර උත්සවයක් තිබුණා. උදේ ඉඳන් ජයටම උත්සවේ වැඩ කෙරීගෙන යද්දී දවල් කෑමට කට්ලට් තියෙනවා කියලා මට ආරංචි වුණා. ඉතින් කෑම මේසේට අරින්නත් කලින්ම මම කට්ලට් කන්න පටන් ගත්තා. එදා දවස තිස්සෙම මම කලේ කට්ලට් කාපු එක. අඩු තරමේ පනහක්වත් කන්න ඇති.
ටික ටික හවස් වෙද්දී මගේ බඩ චුට්ටක් දනවා වගේ  දැනුනා. ඇස් දෙකත් රතු වුණා. එත් රැට කනකොටත් කට්ලට් ඉතිරි වෙලා තිබ්බ නිසා තවත් කට්ලට් දෙකක් එක්ක බත් කලා නිදා ගත්තා. ඊළඟ දවසේ නැගිට්ටම තමා යුද්ධේ පටන් ගත්තේ. මගේ ඇස් අරින්නම බෑ. මුළු ඇඟම දැවිල්ලයි. ගෙදර අයත් හොඳටම බය වෙලා. අයිස් වතුරෙන් තෙමනවා. කෝමාරිකා ගානවා. මම පුළුවන් හයියෙන් කෙඳිරි ගානවා.කාටවත් හිතා ගන්න බෑ මොකද ලෙඩේ කියලා.
ඔය මේ අස්සේ මම කෝමාරිකා පිත්තක් කඩා ගන්න යද්දී උයන්න අත් උදව් දුන්න අයියත් එතන ඉඳන් මූණේ කෝමාරිකා ගානවා.
 "ඇයි අයියේ කෝමාරිකා ගාන්නේ"? මම නිකමට වගේ ඇහුවා.
 "නෑ නිකම් මුණ පොඩ්ඩක් දැවිල්ලයි වගේ" මම හොඳටඑයාගේ මුණ බැලුවා.
එයාගෙත් ඇස්  දෙක රතුවෙලා. මුණත් දැවිල්ලයිලු. ෂුවර් මගේ ලෙඩේම තමා.
"ඇයි දන්නේ නෑ නේද?" මම ශේප් එකේ අහල බැලුවා.
"අර මෝඩ මිනිහා අතින් කට්ලට් වලට ගම්මිරිස් වැඩි වෙලානේ මම හතරයි පහයි කෑවේ " අයියා කතාව ඉවර කරන්නත් කලින් මට වැඩේ හොඳටම තේරුණා. කෝමාරිකා පිත්තක් කඩාගෙන එතනින් මාරුවෙලා ගියාට විනාඩි පහක් යන්න කලින් මුළු ගෙදරම කතාව ප්‍රසිද්ධ වුණා. හැමෝම හිනා වෙද්දී අම්මා විතරක් අහනවා "ඇයි ළමයෝ කද්දී දැනුනේ නැද්ද ටිකක් සැර වැඩියි කියලා" කොහේ දැනෙන්නද ඒ කාලේ කට්ලට් කන්න තිබ්බ පෙරේතකමේ හැටියට.

No comments:

Post a Comment