Thursday, January 9, 2014

සෙල්ලම් හා පැටියා

මට පුංචි කලේ අම්මා ඉල්ලන දේවල් ලේසියෙන් ගෙනත් දුන්නේ නෑ. ඒ ඉල්ලන හැමදේම දෙන්න බැරි බව මට තේරෙන්න අරින්න. එහෙම කියලා මම එක එක ඒවා ඉල්ලන එක නතර කලෙත් නෑ. අම්මා කියන්නේ මාත් එක්ක කඩේකට යන්න බයයි කියලා. මම කඩේ තියෙන දේවල් හොඳට බලලා මට ඕනි සෙල්ලම් බඩු එහෙම කඩේ නම එක්ක මතක තියා ගන්නවා. ගෙදර අවාම ඒවා ඉල්ලලා කරදර කරනවා. එත් ලේසියට ගෙනත් දෙන්නේ නම් නෑ.

දවසක් ඉස්කෝලේ යද්දී මම දැක්කා කඩේක ඉස්සරහ හුලං පුම්බන හා පැටියෙක් විකුණන්න ඉන්නවා. මට කොහොම හරි මේ හා පැටියව ඕනි වුණා. කොච්චරක් කිවාත් අම්මා නම් හා පැටියා අරගෙන දුන්නේ නෑ. මතකයි නංගිටත් එක්කරන් ගිහින් හා පැටියව පෙන්නුවා. උදේ ඉස්කෝලේ යද්දී හවසට එද්දී හැමදාම හා පැටියා දිහා බල බල තමයි ගියේ. කොච්චර ඉල්ලුවත් අරගෙන දෙන්නේ නැති නිසා ආසාව අත් ඇරලා තමයි හිටියේ.

ඔය අස්සේ එක පාරටම මට උණ ගැනිලා ගොඩක් අමාරු වුණා. දවසම ඇඳට වෙලා නිදාගෙන හිටියේ. එක පාරටම ඇස් ඇරලා බලද්දී හා පැටියා මගේ කොට්ටේ ගාව හිටියා. අම්මා හා පැටියව ගෙනල්ලා. මට දැනුන සතුට ඉවරයක් නෑ. සනීප වෙන්න ටික දවසක් ගියත් ඒ පාර නම් ලෙඩ වුණ එක ගැන මට තිබුණේ සතුටක්. ගොඩක් කල් ඒ හා පැටියා මගේ ළඟ තනියට හිටියා.

1 comment:

  1. මං තමයි ඒක හිල්කළේ :D

    ReplyDelete