Tuesday, August 13, 2013

ඇසල තොරණ

මේ පාර ඇසල පෝයට පළමු වතාවට අපේ ගමේ පන්සලේ තොරණක් හදනවා කියලා ආරංචි වුණා. ඉස්සර නම් හැම පොසොන් පෝයටම කලවාන ටවුන් එකේ තොරණක් හදනවා. එත් දැන් ඒක හදන්නෙත් නෑ. ඒ හින්දම කොහොම හරි තොරණ බලන්න යන්නම ඕනි කියලා හිත ගත්තා. වෙලාවටම ඇසල පෝය තිබ්බේ සඳුදා දවසක. ඉතින් තොරණ බලන්න බලාගෙනම සෙනසුරාදා ගෙදර ආවා. තාත්තාට තොරණ විවෘත කරන්න ආරාධනාවකුත් ලැබිලා තිබුණා.

කොහොම හරි පළමු වතාවට මෙහෙම දෙයක් කරද්දී අනිවරෙන් බාධක එනවනේ. ඔන්න මුල්ම බාධාව සොබාදහමෙන්. අකුණු ගහ ගහ වහින්න ගත්තා. ඒ මදිවට හුළගත් එක්ක. වැස්සොත් ඉතින් ඊළඟට වෙන්නේ විදුලි බලය ඇණ හිටින එක. ඔන්න එකත් වුණා.

දැන් ගෙදර ඔක්කොම ලයිට් එනකල් බලන් ඉන්නවා. එත් එන පාටක් නෑ. අන්තිමට හවස හතට විතර පන්සල් ගිහින් මල් පූජා කරලා එන්න කට්ටිය තීරණය කළා. කුඩ ඉහලාගෙන වැස්සේම පන්සල් ගියා.
අනේ අපරාදේ තොරණ තියෙනවා තෙමි තෙමි. හාමුදුරුවොත් ඉන්නවා සසර කලකිරුණා වගේ.
ටෝච් එක අල්ලලා යන්තම් තොරණේ තිබ්බ රූප බල ගත්තා. තාත්තා හෙමිහිට හාමුදුරුවන්ට වැඳලා ලියුම් කවරෙක දාපු සල්ලි කීයක්ද දුන්නා. තොරණ විවෘත නොකලට ඒවා නොකර බෑනේ.

කොහොම හරි ඔන්න ආපහු ගෙදරට අඩිය තිබ්බා විතරයි ලයිට් ආවා. අනේ මන්ද තොරණ දකින්න මම කරපු පින් මදි වෙන්න ඇති.


1 comment:

  1. ඔයාගේම අවාසනාව තමයි මම නම් ඊළඟ දවසේ යසට ගිහින් තොරණ බැලුවා

    ReplyDelete