Monday, September 22, 2014

මුල්ම මතකයන්

මේ ළඟදී දවසක් මම මගේ හිතේ පත්ලටම එබිකම් කරලා බැලුවා. ඒක හරියට මතක පොතක් වගේ. එත් මුල්ම පිටු ටික නම් පැහැදිලි මදි. ඒ අපැහැදිලි පිටුවල තියෙන ලස්සන මතකයන් මම දැන ගත්තේ අම්මගෙන්.
ඔයා ඉපදුනේ රටේ හරියට කලබල තියෙන කාලෙක. ඒ හින්දා නගරේ තිබ්බ ඉස්පිරිතාලෙට යන්න බැරි වුණා. ගමේ ඉස්පිරිතාලේ තමයි ඔයා ඉපදුනේ. ඔයා ඉපදෙනකොට ටිකක් වැඩියෙන් අමාරු වුණා. ඔයාගේ ඔලුව ඇඟට වඩා ලොකුයි. දොස්තරත් බය වෙලා කිව්වා බබා මන්ද බුද්ධික ද දන්නේ නෑ කියලා.
ජීවිතේ වැඩියෙන්ම ශාරීරික වේදනාව වින්ද දවස වුණත් අම්මා ඒ දවස ගැන මතක් කරන්නේ හරිම සතුටෙන්.
අම්මාගෙන් වැඩි පුරම කිරි බීලා තියෙන්නෙත් මමලු. අම්මා එහෙම කියන්නේ හිනා වෙලා. එත් මට ඒ ගැන පුංචිවත් මතකයක් නම් නෑ.

අම්මා කියනවා මම හරි දඟයිලු. මටත් මතකයි යන්තමින් ඇවිදිනවා. ඒ කලේ මම අඳින්න ආසම රතු පාට කලිසමක් තිබ්බා කියලා නම් හොඳට මතකයි. මාව බලාගන්න ගෙදර පුංචි අම්මා කියලා කෙනෙක් හිටියලු.
එයා කලුයි කියලා නම් මට හොඳට මතකයි.

අම්මා මට පුංචි කලේ රෝස පාට සපත්තු දෙකකුයි රතුපාට මේස් දෙකකුයි ගෙනත් දුන්නා. මම ඒවා දාගෙන අම්මලාගේ ගමේ ගෙදර ගියා. තාත්තා අක්කාව වඩා ගෙන යද්දී අම්මා තමයි මාව වඩාගෙන ගියේ. ඒ කාලේ මම හිතුවේ අක්කා තාත්තගේ මම අම්මාගේ කියලා.

මේ අපැහැදිලි මතක පිටු අතර පැහැදලි මතක පිටුවක් තියෙන්නේ ලොකු නංගි ඉපදුන දවස. එයා ඉපදුනේ මගේ තුන් වෙනි උපන්දිනය දවසේ. ඒ හින්දා හැමෝම කිව්වේ එයා  මගේ උපන්දින තෑග්ග කියලා. මම ඉතින් ගොඩක් සතුටෙන් හිටියේ . මට හොඳට මතකයි එයාව ආච්චි අම්මා වඩාගෙන ගෙදරට එක්කරගෙන ආව හැටි.

කොච්චර පිළිවෙලට තියා ගන්න හැදුවත් මතක පොත නම් හරිම අපිළිවෙලයි. එත් පුංචි කාලේ මතක නම් හරිම ලස්සනයි අහිංසකයි





Tuesday, September 16, 2014

ට්‍රයල් පාස් වීම

පුංචි දවස්වල ඉඳන්ම වාහන වලට ඇල්මක් හිතේ කෙලවරකවත් නොතිබුණ හින්දම වාහනයක් පදවන් යන්නේ කොහොමද කියලා පොඩ්ඩක්වත් මම දැනගෙන හිටියේ නෑ. ඇත්තටම මම හිතන් හිටියේ ස්ටියරින් වීල් එක කරකවලා ගියර් එක එහෙට මෙහෙට දැම්මම ඔක්කොම හරි කියලා. අක්කයි නංගියි වාහන පදින්න ලයිසන් ගත්තම මටත් හිතුණා ලයිසන් ගන්න ඕනි කියලා. වැඩ අස්සේ එහාට මෙහාට වෙලා අන්තිමට ඔන්න මටත් ලර්නර්ස් යන්න චාන්ස් එකක් ආවා. මම ගැන ලොකුවට හිතන් උන්නු මම මුලින්ම වාහනේට නැගපු දවසේ තේරුම් ගත්තා මටත් බැරි දේවල් මේ ලෝකේ කොච්චර තියෙනවද කියලා.

පුරුදු වෙන්න වෙලාවක් නොතිබුණාට ට්‍රයල් එක නම් හරියටම දවසට තිබුණා. එත් මට එච්චර බයක් තිබ්බේ නෑ. එක්සැමිනර් මුලින්ම කතා කලේ මට. එතකොට නම් ටික ටික බය දැනෙන ගත්තා. සමහර විට මට වඩා පණ බයක් වාහනේ ඇතුලේ ඉන්න අයට දැනෙන ඇති. ඔන්න මම වාහනේ පදවාගෙන යනවා.

කෝ මට නවත්තන්න කියන්නේ නෑනේ ... ඉස්සරහ වට රවුමක් තියෙයි. මම වට රවුම පදින්න දන්නේ නෑ. දැන්නම් බයයි. හ්ම්ම්ම් මොකද්ද වට රවුමේ නීතිය දකුණෙන් එන වාහන වලට ඉඩ දෙන්න ඕනි. දකුණෙන් වාහන එන්නේ නෑ. මම දැන් වටරවුම ගත්තා. අනේ මෙන්න වාහනේ හැරුණා. දැන් මොකද්ද කරන්නේ.
ඇස් පියා ගන්නවා.

හ්ම්ම්ම් කොහොමද වාහනේ නතර වුනේ???? එක්සැමින හෑන්ඩ් බ්රේක් අද්දා.

මම ට්‍රයල් ෆේල්...  එක්සැමින මොනවාද කොලේ පුරාම ලිව්වා කඳුළු අතරින් මට පෙනුනා. දවසම කට්ට කාලා මම ගෙදර ගියේ හැමෝගෙම බලාපොරොත්තු කඩ කරලා.

හැමෝම එක එක උපදෙස් දුන්නා. කමක් නෑ මම අයෙත් උත්සහ කරලා බලනවා බෑ කියලා හිතන්නෙම නැති මගේ චණ්ඩි හිත එහෙම හිතුවා.

අයෙත් ට්‍රයල්  දැම්මා. දැන් මම දන්නවා තාමත් මම ට්‍රයල් පාස් වෙන්න තරම් හොඳ නෑ කියලා. ඔව් විභාග පාස් වුනාට වාහන එලවන්න බෑ. එත් මට තියෙන්නේ සැලෙන්නේ නැති හිතක්. පොඩි දේවල් වලට ඇඩුවට මගේ හිත ගොඩක් හයියයි.

එදා එක්සමිනමයි එදා වට රවුම මයි  එත් මම ට්‍රයල් පාස්. 

Thursday, August 7, 2014

දියැස් වීරමුණි

ගිනි මද්දහනේ ඉර පායලා තිබුණේ කිසිම අනුකම්පාවක් නැතිව. එහෙන් මෙහෙන් දාඩිය  බෙරෙද්දී පිස්සුවෙන් වගේ දුවන වාහන වලින් පිටවෙන දුමත් එක්ක දුවිලි තට්ටු දහස් ගානක් මුණේ තැවරෙද්දී තොරතෝංචියක් නැතිව ඇසෙන සද්ද වලින් කන පුපුරන්න එනකොට මට නම් හිතෙන්නේ ටවුන් එක තරම් මිහිපිට අපායක් නැති තරම් කියලා. එත් වෙලාවක් ලැබුන ගමන් කොච්චාර අමාරු වුණත් ගෙදර දුවගෙන එන්නේගෙදර තරම් දිව්‍ය ලෝකයක් තවත් නැති හින්දා.

අද  ගෙදර එද්දී මගේ ගාව ඉඳගෙන ආව නංගි කෙනෙක් හෙමිහිට නවකතා පොතක් අරගෙන කියවන්න පටන් ගත්තා. මරණ තුනක් තියෙන මිනිහෙකුත් පැණි කෑවලුනේ මටත් දැනුනේ ඒවගේ හැඟීමක්. මගේ ඇස දෙකත් නවකතා පොතේ පේළියෙන් පේළිය පහළට ගියා.
පොතේ නම "මල් පොහොට්ටු" ලියලා තිබ්බේ කතුවරියක් ම්ම්ම්  කවුද කියලා හරියටම මතක නැහැ.

කතාවේ ප්‍රධාන චරිතය "දියැස් වීරමුණි" දුඹුරු පාට  ඇස් තියෙන ආමි මේජර් කෙනෙක්, එයාගේ හිත ගිහින් තිබුණේ දෙමාපියෝ අහිමි වෙච්ච පුංචි කෙල්ලෙකුට , නමින් කිව්වොත් එයා පාරෝ. තුන්වැන්නේකුත් හිටියා රාහුල් කියලා.
මගේ හිත නතර වුණේ දියැස් ළඟ. එයාට තියෙන්න ඇත්තේ නමටම ගැලපෙන ප්‍රතාපවත් පෙනුමක්
සමහර විට අජේ දේව්ගන් වගේ වෙන්න ඇති. පාරෝට තියෙන්න ඇතිතේ කාජල්ගේ වගේ අහිංසක ඇස් දෙකක්.
නෑ නෑ පාරෝ මම වගේ පුංචි කෙල්ලෙක් වෙන්න ඇති. මොහොතකට මම පාරෝ වුණා. මේජර් දියැස්ගේ
ප්‍රතාපවත් දේහය ඉස්සරහ මට දැනුනේ හරියට සිංහයෙක් ඉස්සරහ ඉන්න පූස් පැටියෙක් වගේ. ආදරේ කරන්න තියා ඒ ඇස් දිහා කෙලින් බලන්නවත් ශක්තියක් නැතිව මම ගොලුවෙලා බිම බලාගෙන හිටියා. "පාරෝ..." ඔහුගේ ගාම්භිර කටහඬේ තිබ්බේ නැතිවෙච්ච් තාත්තාගේ ආදරේ.




බොර පාට දෙනයනේ
තියුණු  බැල්ම අද කොහිද
යන්තමට දිලිසෙන්න
නෙතු කැල්මන් මන්ද
 කියන්න කොහොමද
මේ තරම් මෙලෙක් හිතක්
ලැබුණේ ඔය රළු පපුවට...

අත දැරූ  රළු අවියේ
කර ගැට අත්ලේ සැඟවීද
මලක් වගේ සියුමැලිව
දෑත ගත්තේ ඔබමද
ඇත්තමයි කියන්න
ආදරේ නුඹ දන්නවද...

ගැහෙන හඬ ඇසෙන්නේ
ඒ ඔබේ හදවතද
මට දැනේනේ ඔබේ
සුසුම් වල උණුසුමද
මම දකින්නේ ඔබව
සිහිනයෙන් නොවේමද

ඉතින් මම දන්නේ නෑ
සතතකින් නුඹ වගේ
ආදරේ කරන්නට...






Monday, July 21, 2014

පිරිමි පුතා

බාර වට්ටියක්  අරගෙන පින් බර දෑතට
අම්මේ නුඹ වැඳ වැටුණද සමන් දෙවිදු ළඟ
පිරූ පාරමී ඇතිවිය එන්නට නුඹ වෙත
එත් මදිලු අම්මේ පුත් රුවනක් වෙන්නට

ලපටි කණ වැටුණි දෙඩු බස් රහසේම
පැතුවද පිරිමි පුතෙක් මම උපදිනදාට
සිතුවා පුතෙක් වෙන්නට මම පොඩි කමට
එකයි කොලු ඇඳුම් ඇන්දේ මතකයිද

උන්නත් නුඹ කියන ලෙස ඒ විදිහටම
හැමදා දුකින් ඉන්නේ මම කළ පවට
අම්මේ දැන උන්නා නම් ඔබගේ පැතුම
එන්නේ නෑ කුසට එය ඉටුවන තෙක්ම

වුවත් ඉගැනුමේ අග තැන්පත් බවට
මට බැරිවේවි පුරවන්නට ඔබේ පැතුම
මංගල දිනේ මම වෙන්වී යන දාට
පුතෙක් උන්නා නම්  කියලා හිතේවිද
උන්නොත් ඉවසලා ඔය හිත සනසගෙන
මම පින් කරමි පුත් රුවනක් ලැබෙන්නට


Wednesday, July 9, 2014

දීගෙක ගිය අක්කාට


මගේ අතින් අල්ලාගෙන හැමතැනම
ඇවිද ගිය නුඹේ අත අත හරින්නට
බැරි වුණා මොහොතකට
අපෙන් ඈතට නුඹට
පිය නගනු බැරි වෙන්න

එත් නුඹ යන්න නුඹේ
ලොව තනන්නට
අපි උන්නා වාගේම
කැදැල්ලක් හදන්නට

ඒ සොඳුරු කැදැල්ලේ
සතුට ඉතිරෙයි හැමදාම
එත්  එපා අමතක වෙන්න
ගොඩවදින්නට
අපි උන්න ඒ පුංචි කැදැල්ලට




Wednesday, April 23, 2014

නාවත් කමක් නෑ හෙට ඉරක්

මම දන්නවා දැන් ජීවිතේ
ගීතයක් නම් නොවේ කියා

නුඹ නෑ මගේ ළඟ දැන්
දැන ගන්න මම දන්නවා කියා...
හැමදාම ළඟ ඉඳන්
කියා දුන් තරමක්
මතකයි මට තවමත්
පිළිගත්තේ නෑ මම නම්
දේදුන්නේ පාටින්
දුටුවා ලෝකය මන්
මතකයි නුඹ හිනැහුණා
සරදමින් මා බොළඳකම්
හෙටත් අද වගේ නම් ඉතින්
නාවත් කමක් නෑ මට 
හෙට ඉරක් සත්තකින්
ආයෙත් මැරෙන්නට
නැහැ පණ බිඳක්වත්


Monday, March 24, 2014

ආඩම්බර බට්ටිච්චී

හිතුවක්කාර කිරිල්ලී
ආඩම්බර බට්ටිච්චී
ඉඟි බිඟි පා යන්නේ රහසේම ඉගිල්ලී
බහක් නොදෙන්නී
බිඳුවක් සිනහ නොවෙන්නී
හිත අරගෙන යන්නේ රහසේම ඉගිල්ලී

සොඳුරු සිතැත්තී
දෑසින් කතා කරන්නී
කොහේ ඉඳන් ආවද මේ පුංචි කිරිල්ලී
තනියම සිනහ සලන්නී
මගේ ඇස් මග ඇර යන්නී
මොහොතක් තව ඉන්නවාද  පුංචි කිරිල්ලී

අවිහිංසක හැඩකාරි
මොනවාද හිත හිත යන්නී
අහන් ඉන්න දුක කියන්න පුංචි කිරිල්ලී
රහසෙම විඳවන්නී
මට නොකියම ඉන්නී
තරහ වෙලා යන්න එපා පුංචි කිරිල්ලී