ඉස්සර අපේ ගෙවල් ළඟ ඉන්න මල්ලි කෙනෙක් මම ඉස්කෝලේ ඇරිලා එද්දී හැමදාම බලාගෙන ඉන්නවා (මල්ලියෙක් කිව්වට පොඩි කෙනෙක් නෙමෙයි නව යොවුන් වියේ කෙනෙක් හිතන් ඉන්න ඇත්තේ මම එයට වඩා පොඩි කියල වෙන්න ඇති ). මමත් school van එකේ යන නිසා හැමදාම ආඩම්බර බැල්මක් දා ගෙන යනවා.
දවසක් school van එක මගදී කැඩුනා. van එක කැඩුන තැන ඉඳන් අපේ ගෙදරට වැඩි දුරක් නැති නිසාත් van එක හදා ගන්න කල් එතනට වෙලා ඉන්න කම්මැලි හින්දත් මම පයින්ම ගෙදරට එන්න පටන් ගත්තා. මම ඈතටම දැක්කා එදත් ඒ මල්ලි එයාලගේ ගෙදර දොරකඩ පාර බල බල ඉන්නවා. මාර වැඩේ තමා මෙයා මාත් එක්ක කතා කරයිද අද ???? එහෙම උනොත් මොනාද කරන්නේ මම දැන් කල්පනා කර කර එනවා. වෙලාවටම පාරේ කවුරුවත් නෑ. ෂික්... මම දැන් ටිකක් විතර බය වෙලා. කුඩෙන් මුණ වහගෙන එතනින් ඉක්මනින් ඉක්මනින් යන්න හැදුවේ. අනේ මන්ද පෙර කල කරුමයක්ද කියල මාව එතනම ඇදගෙන වැටුණා. කුඩේ වීසි වෙලා ගියා. මුණත් බිම ඇනුනා.
මාර නෝන්ඩිය තමා. වැටුණ වේගෙන්ම මම නැගිටලා ඉක්මනට යන්න පටන් ගත්තා. කකුල තුවාල වෙලා හොඳටම රිදෙනවා. ඇස් වලින් කඳුළු බේරෙනවා. වැඩි දුරක් යන්න වුණේ නෑ අර මල්ලි බයිසිකලයකින් ඇවිත් අහිංසක විදිහට අහනවා "ඔයාට රිදුනද " කියලා. මොන මෝඩයෙක්ද මන්දා මට පුළුවන් නම් පොලව පලාගෙන යනවා. මම හොඳට රවල බැලුවා. එදා ඉඳන් එයා මම එනකල් බලා හිටියෙත් නෑ. මම කොල්ලන්ට ආඩම්බර බැලුම් දැම්මෙත් නෑ.
No comments:
Post a Comment