මම උසස් පෙළ කරද්දී ලංකාව පුරාම තිබුණේ යුද්ධමය තත්වයක්. හැමතැනින්ම බෝම්බ පුපුරද්දී, උදේ ගෙදරින් ගිය අය ආපහු ගෙවල් වලට ආවේ මිනී පෙට්ටි වලින්. එක දවසක් ඉස්කොලේ ගියාට පස්සේ එහෙන් මෙහෙන් ආරංචි ආවා ඉස්කෝලේ ඇතුලේ බෝම්බයක් තියෙනවා කියලා call එකක් ඇවිත් කියලා.
ඉස්කෝලේ වැඩ වෙනදා වගේ පටන් ගත්තේ නෑ. ඒ වෙනුවට "ළමයි හැමෝටම තමන්ගේ පුටුවල ඉඳ ගෙන ඉන්න කලබල වෙන්න එපා "කියලා principal madam නිවේදනයක් දුන්නා.
තවත් මොහොතකින් මොන වෙයිද කියල හිත ගන්න බැරි වුණා. යාලුවෝ හැමෝගේම මුණු පුරාම මරණ බය ඉතිරිලා ගිහින්. ඇස් වල කඳුළු පිරිලා. සමහරු බොරුවට ගොත ගහ ගහ විහිළු කියන්න හදනවා. හිනා වෙන්නවත් අඬන්නවත් බැරි තරමට මගේ මූණේ මාංශ පේශි හිරවෙලා වගේ දැනුනා. අම්මා තාත්තා නංගිලා අක්කා ඔක්කොම මතක් වුණා. මේ හැම දෙයකින්ම තව මොහොතකින් ඈත් වෙන්න වෙයි කියල දැනෙද්දී දරා ගන්න බැරි තරම් දුකක් දැනුනා. පැටලී පැටලී ඉතිපිසෝ ගාථාව යන්තම් කියා ගත්තා.
පැය කීපයකට පස්සේ ඉස්කෝලේ ඇතුලේ හැමතැනම චෙක් කරලා බෝම්බයක් නෑ කියල දැන ගද්දි අපි හැමෝම සියපාරක් විතර හිතින් මැරිලා ඉවරයි. දැන් මතක් කරලා හිනා වුණාට එදා දැනිච්ච මරණ බය නම් කවදාවත්ම අමතක වෙන්නේ නෑ.
No comments:
Post a Comment