Thursday, August 7, 2014

දියැස් වීරමුණි

ගිනි මද්දහනේ ඉර පායලා තිබුණේ කිසිම අනුකම්පාවක් නැතිව. එහෙන් මෙහෙන් දාඩිය  බෙරෙද්දී පිස්සුවෙන් වගේ දුවන වාහන වලින් පිටවෙන දුමත් එක්ක දුවිලි තට්ටු දහස් ගානක් මුණේ තැවරෙද්දී තොරතෝංචියක් නැතිව ඇසෙන සද්ද වලින් කන පුපුරන්න එනකොට මට නම් හිතෙන්නේ ටවුන් එක තරම් මිහිපිට අපායක් නැති තරම් කියලා. එත් වෙලාවක් ලැබුන ගමන් කොච්චාර අමාරු වුණත් ගෙදර දුවගෙන එන්නේගෙදර තරම් දිව්‍ය ලෝකයක් තවත් නැති හින්දා.

අද  ගෙදර එද්දී මගේ ගාව ඉඳගෙන ආව නංගි කෙනෙක් හෙමිහිට නවකතා පොතක් අරගෙන කියවන්න පටන් ගත්තා. මරණ තුනක් තියෙන මිනිහෙකුත් පැණි කෑවලුනේ මටත් දැනුනේ ඒවගේ හැඟීමක්. මගේ ඇස දෙකත් නවකතා පොතේ පේළියෙන් පේළිය පහළට ගියා.
පොතේ නම "මල් පොහොට්ටු" ලියලා තිබ්බේ කතුවරියක් ම්ම්ම්  කවුද කියලා හරියටම මතක නැහැ.

කතාවේ ප්‍රධාන චරිතය "දියැස් වීරමුණි" දුඹුරු පාට  ඇස් තියෙන ආමි මේජර් කෙනෙක්, එයාගේ හිත ගිහින් තිබුණේ දෙමාපියෝ අහිමි වෙච්ච පුංචි කෙල්ලෙකුට , නමින් කිව්වොත් එයා පාරෝ. තුන්වැන්නේකුත් හිටියා රාහුල් කියලා.
මගේ හිත නතර වුණේ දියැස් ළඟ. එයාට තියෙන්න ඇත්තේ නමටම ගැලපෙන ප්‍රතාපවත් පෙනුමක්
සමහර විට අජේ දේව්ගන් වගේ වෙන්න ඇති. පාරෝට තියෙන්න ඇතිතේ කාජල්ගේ වගේ අහිංසක ඇස් දෙකක්.
නෑ නෑ පාරෝ මම වගේ පුංචි කෙල්ලෙක් වෙන්න ඇති. මොහොතකට මම පාරෝ වුණා. මේජර් දියැස්ගේ
ප්‍රතාපවත් දේහය ඉස්සරහ මට දැනුනේ හරියට සිංහයෙක් ඉස්සරහ ඉන්න පූස් පැටියෙක් වගේ. ආදරේ කරන්න තියා ඒ ඇස් දිහා කෙලින් බලන්නවත් ශක්තියක් නැතිව මම ගොලුවෙලා බිම බලාගෙන හිටියා. "පාරෝ..." ඔහුගේ ගාම්භිර කටහඬේ තිබ්බේ නැතිවෙච්ච් තාත්තාගේ ආදරේ.




බොර පාට දෙනයනේ
තියුණු  බැල්ම අද කොහිද
යන්තමට දිලිසෙන්න
නෙතු කැල්මන් මන්ද
 කියන්න කොහොමද
මේ තරම් මෙලෙක් හිතක්
ලැබුණේ ඔය රළු පපුවට...

අත දැරූ  රළු අවියේ
කර ගැට අත්ලේ සැඟවීද
මලක් වගේ සියුමැලිව
දෑත ගත්තේ ඔබමද
ඇත්තමයි කියන්න
ආදරේ නුඹ දන්නවද...

ගැහෙන හඬ ඇසෙන්නේ
ඒ ඔබේ හදවතද
මට දැනේනේ ඔබේ
සුසුම් වල උණුසුමද
මම දකින්නේ ඔබව
සිහිනයෙන් නොවේමද

ඉතින් මම දන්නේ නෑ
සතතකින් නුඹ වගේ
ආදරේ කරන්නට...