Thursday, October 17, 2013

අනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්න

"වෙනදට තොරතෝංචියක් නැතිව කියවන කෙල්ල මොකෝ මේ අද මූඩ් ගහලා." 

පන්තියේ හැමෝටම අද මාව ලොකු ප්‍රශ්නයක් වෙලා. ඉස්සර ඉඳන්ම කට පරිස්සම් කරගෙන හිටියා නම් හොඳයි. එහෙනම් අද කාටවත් මාව ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මින්ස්සු නිහඬව ඉන්නේ මොන මොනා හරි කල්පනා කරන හින්දා. කලපනා කරන්නේ ප්‍රශ්න තියෙන හින්දා. එත් මට මෙච්චර කල් ප්‍රශ්නයක් තිබ්බේ නෑනේ. දැනුත් මේ මගේ පිටට ඇවිත් තියෙන්නේ මගේ ප්‍රශ්නයක් නෙමෙයි. අනේ මන්දා මොනා කරන්නද කියලා.
"මගේම යාළුවෙක් මට ආදරෙයිලු"

ඉස්කෝලේ යන මට මොන ආදර කතාද. එත් එකපාරටම බෑ කිව්වොත් මේකා මොන හරි කරගත්තොත් එහෙම. අනික ඉතින් බඳින්න තව කොච්චර කල් තියේද? කවුද දන්නේ එතකොට මොනවයින් මොන වෙයිද කියලා. මේ මනුස්සයා මොකට මන් ගැන මෙහෙම හිතුවද මන්දා. දැන් ඉතින් යාළුකම් ඉවරයි.

මමත් දැන් ඉතින් කල්පනා කරනවා. කතා කරන්න තියා කන්න බොන්නවත් හිතෙන්නේ නෑ. වෙලාව ඔහේ යනවා. ප්‍රශ්නෙට විසඳුමක් නෑ. මගේ ප්‍රශ්නේ දන්නා කට්ටිය අනුකම්පාවෙන් මන් දිහා බලනවා. නොදන්නා කට්ටිය අඟහරු බට්ටෙක් දිහා බලනවා වගේ මගේ දිහා බලනවා. ඔය මේ අස්සේ හදිස්සියකට එළියට යන්න වුණා. අපහු එද්දී නන්නාඳුනන කෙනෙක් මගේ පොතේ සින්දුවක් ලියලා.

"මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනා වෙලා කතා කරන්න 
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න"

ඒක දැක්කම මට ඉබේටම හිනා ගියා. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ ඔක්කොම ප්‍රශ්න විනාඩියෙන් අමතක වුණා.

"කවුද මගේ පොත අල්ලපු බුරුවා" පන්තියම උඩ යන්න මම ඇහුවා.

Wednesday, October 16, 2013

සමනල සංධ්වනිය

" එකකට එකක් සම්බන්ධ එකක් පස්සේ එකක් ගමන් කරන දෙයට මිනිස්සු කියන්නේ ජීවිතය කියලා.
" එකකට එකක් සම්බන්ධ නැති  එකක් පස්සේ එකක් ගමන් කරන දෙයට මිනිස්සු කියන්නේ ආදරය කියලා."
                                                                                                                                      --- පුණ්‍යා


පුණ්‍යා කියන්නේ සුන්දර කෙනෙක්. බාහිර ප්‍රති රූපයෙන් විතරක් නෙමෙයි හදවතින්ම සුන්දර කෙනෙක්. හිතට දැනේන සිතුවිලි වචන කරන්න පුණ්‍යාට තියෙන්නේ පුදුමාකාර හැකියාවක්. ඒ වචන වලට වගීෂ රේවත විතරක් නෙමෙයි ඕනෑම සංවේදී කෙනෙක් අල්ලලා බැඳ ගන්න පුළුවන්.

රේවත කියන්නේ වාසනාවන්තයෙක් පුණ්‍යා වගේ කෙනෙක් ගේ ආදරයක් ලබන්න රේවත ගොඩාක් වාසනාවන්තයි. එත් ඒ බොහොම කෙටි කාලයකට. දෛවය එහෙම තමයි.

වගිෂ කියන්නේ අවාසනාවන්තයෙක් නෙමෙයි. තමන්ගේ නොවන දෙයක් වෙනුවෙන් ජීවිතේම අඬා වැටෙන කෙනෙක්. කොල්ලෙක් හින්දා කඳුළු කරගන්න බැරි වේදනාව සංගීතයෙන් පිට කරන කෙනෙක්. මත් පැන් වලින් වේදනාව යටපත් කරගන්න දඟලන කෙනෙක්. කාටවත් කියාගන්න බැරි අහිංසක ඒක පාර්ශ්වික ආදරේක උරුමක්කාරයෙක්.

සමනල සංධ්වනිය කියන්නේ කාලෙකට පස්සේ නරඹපු පුංචි සිද්දියක් වටා ගෙතුණ ලස්සන සංවේදී චිත්‍රපටයක්.

Tuesday, October 8, 2013

ආදරණිය ඉස්කෝලේ

අවුරුදු දහයකට විතර පස්සේ ආපහු ඉස්කෝලෙට ගියා. ඒ අම්මා විශ්‍රාම ගත්ත හින්දා. ගේට්ටුවෙන් ඇතුල් වෙච්ච වෙලාවේ ඉඳන් හිතේ කෙරවලක ගොඩ ගැහිලා තිබ්බ මතක සටහන් එක එක මතක් වෙන්න ගත්තා.
අම්මයි තාත්තයි දෙන්නම වැඩ කලේ ඉස්කෝලේ හින්දා මම ඉස්කෝලේ ගියේ දන ගාන කලේ ඉඳන්මයි. අකුරු ලියන්න කියවන්න විතරක් නෙමෙයි නැගිටින්න ඇවිදින්න ඉගෙන ගත්තෙත් ඉස්කොලේන්මයි. ඒකාලේ හිටපු කවුරුවත් දැන් නෑ. ඉතිරි වෙලා හිටියේ අම්මා විතරයි.

එත් පන්ති කාමර පිට්ටනිය ගස් කොළ එහෙම්මම තිබුණා. ඒවා  වටේ දුවපු සෙල්ලම් කරපු වැටිලා අඬපු මම විතරක් වෙනස් වෙලා කියලා මට හිතුනා. පුංචිම කලේ පඩිපෙල් නැග ගන්න බැරි වුණ මම පස්සේ කාලෙක උඩට පහලට ඉවරයක් නැතිව දුවපු හැටි මතක් වුණා. මගේ අඩි සටහන් ඉස්කෝලේ මිදුලේ පුරාම ඇති කියලා මට හිතුණා

ටිකෙන් ටික මම ලොකු වෙද්දී තාලෙට අඩි තිය තිය පද්ද පද්ද ඉස්කෝලෙට ආපු හැටි. කොල්ලෝ දිහා හොරෙන් බලලා ඇද කරපු හැටි. මුකුළු කර කර කට්ටිය එක්ක තොරතෝංචියක් නැතිව කියවපු හැටි. ඔක්කොටම වඩා දන්නේ ඉස්කෝලේ තියෙන ගස් ගල් කියලා මට හිතුණා.

අළුත් ගුරුවරු මම දිහා බලද්දී මට උගන්වපු ඒක ගරුවරයෙක් හරි හිටියනම් කියල හිතුනා. එහෙනම් ආයෙත් එක පාරක්  හරි සාරි පොටේ එතිලා හුරතල් වෙන්න තිබ්බා. ඒ කාලෙට ආයෙත් යන්න තිබුණා නම් කියලා ගොඩක් සැරයක් හිතුණා.