Thursday, August 29, 2013

යෙහෙළියේ....

ජීවිතය නම් පොතේ පිටු අතර
මතක් කර කර  හිනාවෙන්න
පුළුවන් පරිච්ඡේදයක් වේ
ඒ නුඹ එක්ක මම උන්නු කාලයයි...

පිස්සු වැඩ නිමක් නැති
කරපු නැති දෙයක් නැති
ජීවිතේ බරපතලකම ගෑවිලා නැති
ඒ කාලේ ඇත්තමයි සුන්දරයි නිමක් නැති




කොල්ලන්ට ඇද කරලා
අහක බලාගෙන උන්නු
කටකොනින් හිනාවෙලා
පස්සේ ඔරවලා බලපු
ඇත්තටම පව් අනේ කොල්ලන්ට දීපු ලණු

නවතින්න බැරි උනත්
තාම ඉඳහිට යනවා
ඒ සොඳුරු  මල් සමයට
තනිකමක් පාළුවක් දැනෙන හැම වෙලාවෙම




Thursday, August 22, 2013

දන්සැල් කෑම

වෙසක් පෝයට පොසොන් පෝයට විතරක් නෙමෙයි ඇසල පෝයටත් ලංකාවේ හැමතැනකම වගේ දන්සැල් දෙනවා. එත් මට අවුරුදු දහ අටක්  විතර වෙනකල්ම දන්සැලකින් කන්න චාන්ස් එකක් ලැබුණේ නෑ. ඒ දවස් වල හැමතැනම ගියේ තාත්තා එක්ක. තාත්තා කොහොමවත් මාත් එක්ක යද්දී දන්සැල් වල නම් නවත්තන්නේ නෑ. ඒ හින්දම දන්සැලකින් කන්න පුදුම අසාවක් මට තිබුනේ. අඩුතරමේ බිස්කට් එකක්වත්.

ඔන්න දවසක් වෙසක් පෝයට පස්සේ දවසේ A/L class එකක් තිබුණා. මමත් අසාවෙන් ගියා. දන්සැල් කන්නත් පුළුවන්නේ. මම දන්සැල් කන්න අසාවෙන් හිටපු නිසා යාලුවෝ ඔක්කොම මාව නොන්ඩි කර කර තමයි ආවේ.

වෙලාවටම වගේ බස් එක දන්සැලක් ළඟ නැවැත්තුවා. මම දැන් හා හා පුරා කියලා දන්සැලෙන් කන්න බලාගෙන ඉන්නවා. බිස්කට් ට්‍රේ එකක් අරගෙන කොල්ලෙක් බස් එකට නැග්ගා. වට පිට බලලා මේ මනුස්සයා මටම මුලින්ම ට්‍රේ එක ඇල්ලුවනේ.හරියට දැනගෙන හිටියා වගේ. යාලුවෝ උඩ පැන පැන හිනා වෙන්න ගත්තා. මාර නෝන්ඩිය. මම අහක බල ගත්තා. කොහොම හරි එදත් දන්සැල් කන්න බැරි වුණා.

 

Thursday, August 15, 2013

ඈත ගිය නුඹට














පියෙන් පියට මාවත දිග ඇවිදන් යනවා
නෙතින් නෙත ගැටි දහසක් දෙන පසුවෙනවා
නැති බව දැන දැනම මා නුඹේ රුවම සොයනවා
නුඹ දන් නෑ තාමත් මම නුඹම පතනවා

නුඹේ අත ගෙන ඇවිදන් ගිය හැටි සිහිවෙනවා
කියපු කතා තාමත් මට සෙමෙන් ඇසෙනවා
නුඹේ හිනාව දුර ඈතින් තාම ඇසෙනවා
අහිතක් නෑ ළඟ ඉන්නවා වාගේ දැනෙනවා

අදින් නිමක් නෑ හෙට යළි දිනක් ලබනවා
ළඟ නැති බව හැමතිස්සෙම මට සිහිවෙනවා
ඊයෙත් ළඟ උන්නා වගේ හිතට දැනෙනවා
නුඹ එනතුරු තාමත් මග බලන් ඉන්නවා




Tuesday, August 13, 2013

ඇසල තොරණ

මේ පාර ඇසල පෝයට පළමු වතාවට අපේ ගමේ පන්සලේ තොරණක් හදනවා කියලා ආරංචි වුණා. ඉස්සර නම් හැම පොසොන් පෝයටම කලවාන ටවුන් එකේ තොරණක් හදනවා. එත් දැන් ඒක හදන්නෙත් නෑ. ඒ හින්දම කොහොම හරි තොරණ බලන්න යන්නම ඕනි කියලා හිත ගත්තා. වෙලාවටම ඇසල පෝය තිබ්බේ සඳුදා දවසක. ඉතින් තොරණ බලන්න බලාගෙනම සෙනසුරාදා ගෙදර ආවා. තාත්තාට තොරණ විවෘත කරන්න ආරාධනාවකුත් ලැබිලා තිබුණා.

කොහොම හරි පළමු වතාවට මෙහෙම දෙයක් කරද්දී අනිවරෙන් බාධක එනවනේ. ඔන්න මුල්ම බාධාව සොබාදහමෙන්. අකුණු ගහ ගහ වහින්න ගත්තා. ඒ මදිවට හුළගත් එක්ක. වැස්සොත් ඉතින් ඊළඟට වෙන්නේ විදුලි බලය ඇණ හිටින එක. ඔන්න එකත් වුණා.

දැන් ගෙදර ඔක්කොම ලයිට් එනකල් බලන් ඉන්නවා. එත් එන පාටක් නෑ. අන්තිමට හවස හතට විතර පන්සල් ගිහින් මල් පූජා කරලා එන්න කට්ටිය තීරණය කළා. කුඩ ඉහලාගෙන වැස්සේම පන්සල් ගියා.
අනේ අපරාදේ තොරණ තියෙනවා තෙමි තෙමි. හාමුදුරුවොත් ඉන්නවා සසර කලකිරුණා වගේ.
ටෝච් එක අල්ලලා යන්තම් තොරණේ තිබ්බ රූප බල ගත්තා. තාත්තා හෙමිහිට හාමුදුරුවන්ට වැඳලා ලියුම් කවරෙක දාපු සල්ලි කීයක්ද දුන්නා. තොරණ විවෘත නොකලට ඒවා නොකර බෑනේ.

කොහොම හරි ඔන්න ආපහු ගෙදරට අඩිය තිබ්බා විතරයි ලයිට් ආවා. අනේ මන්ද තොරණ දකින්න මම කරපු පින් මදි වෙන්න ඇති.


Friday, August 9, 2013

Noot

මගේ ජීවිතේ මට හම්බ වුණු හොඳම යාළුවා තමයි "Noot". Noot පූසෙක්. සුදුම සුදු පාට වලිගෙ විතරක් කළු පාට ඇස් ළා කොළ පාට ලස්සන පූසෙක්. ඉපදිලා සතියකින් විතර අපේ ගෙදරට මෙයාව ගෙනල්ලා දුන්නේ පූස් අම්මා නැති වුණා කියලා. ඒ දවස් වල ඇඟිල්ලක් තරම් ඇති. චූටි කාලේ කිරි දුන්නේ පාන්තිරයක් පොඟවලා නිසා තාමත් මෙයා රෙදි කෙරවල් අල්ලාගෙන උරන්නවා පොඩි එකෙක් වගේ.

කොහොම වුණත් ගෙදර හැමෝගෙම ආදරේ දිනා ගන්න Noot දක්ෂයා. තාම මතකයි A/L  කරන දවස් වල රෑට පාඩම් කරද්දී මෙසේ කෙරවලක ඉඳ ගෙන හිටපු හැටි. මටත් කලින් ගිහින් මගේ ඇඳේ නිදා ගන්නේ හරියට එයාගේ ඇඳ වගේ. Noot කෑ ගහන්නේ අමුතු විදිහකට. හැබැයි ඒ වෙලාවට මෙයාව ගනන් ගත්තේ නැති වුනොත් නම් හපනවා.

මොනා වුණත් මෙයාට කන්න දීලා නම් පිරිමහන්න බෑ. නංගි කියන්නේ බඩේ හිගන්නෝ හැටක් ඉන්නවා කියලා. කන්න දෙනවා නම් ඕනි තරම් චාටර් වෙන්න Noot කැමතියි.

හැමතිස්සෙම මගේ ළඟට වෙලා ඉන්න හිනා වුණත් ඇඬුවත් දාලා යන්නේ නැති මගේ සුදු මැණික තමයි Noot.

Wednesday, August 7, 2013

කාන්තා දිනය

මාර්තු 08 ලෝක කාන්තා දිනය. එකම එක වතාවක් මම කාන්තා දිනයට තෑග්ගක් ලබන්න තරම් වාසනාවන්ත වුණා.

11 වසරේ ඉගෙන ගනිද්දී මට කාන්තා අයිතිවාසිකම් ගැන අමුතු උණක් තිබුණා. ඒ හින්දම කාන්තා දිනයට කලින් දවසේ තෑගි ඉල්ලලා පිරිමි ළමයින්ගේ ඩෙස් වල දැන්වීම් ඇලෙව්වා. නිකන්ම නෙමේ පොඩි සද්දෙකුත් එක්ක. මොනා වුණත් අපේ කොල්ලන්ගේ හිත හොඳයි. ඒ හින්දා පහුවෙනිදම හැම ගෑනු ළමයටම තෑග්ගක් ලැබුණා. තෑග්ග තමයි කොණ්ඩාකටුවයි අයකටුවයි.

ඒ අතරේම මේ කටයුත්තට නායකත්වය ගත්ත මට විශේෂ තෑග්ගක් ලැබුණා. ලස්සනට පාර්සල් කරලා රිබන් එකකින් ගැට ගහල පෙට්ටියක්. අතට ගන්න කොටම තේරුණා මේකේ නම් ෂුවර් මොකක් හරි ගිනිගෙඩියක් තමා තියෙන්නේ කියලා. හිතුවා වගේම බාගෙට ලිහද්දීම කැරපොත්තෙක් ඉගිල්ලිලා ගියා. මම එහෙන්මම තෑග්ග එළියට විසී කළා. පස්සේ දැනගත්ත විදියට එකේ ගෙම්බෝ කැරපොත්තෝ සෙට් එකක්ම ඉඳලා. මොන වුණත් හිත හොඳ කොල්ලෝ නැත්නම් මෙහෙම මතක හිටින තෑගී දේවිද.

Monday, August 5, 2013

Happy Birth Day Sir

6 වසර ඉඳලා 11 වසර වෙනකල්ම අපේ පන්තිය භාරව හිටියේ ප්‍රේමවංශ සර්. අපිට ඉංග්‍රීසි ඉගැන්නුවෙත් සර්ම තමයි. දකින දකින තැන ඉංග්‍රීසියෙන් කතා කරන හින්දා අපි ඉස්සර සර්ව දැක්කම ෂේප් එකේ මාරු වෙනවා. එත් සර් අපේ පන්තියට මාර ආදරෙයි. අපි 11 වසර ඉද්දි සර්ට වයස 59. අහම්බෙන් මම සර්ගේ birth day එක දැන ගත්තා. කට්ටියටම කියලා birthday party එකක් organize කළා.

ඔන්න party එක හෙටයි කියල සර් නිවාඩු. පස්සේ චිට් එකක් ලිව්වා "අනේ සර් හෙටනම් කොහොම හරි ඉස්කෝලේ එන්න කියලා" ඒක සර්ගේ පුතා අතේ ගෙදර යැව්වා. මෙන්න සර් birthday එක දවසේ පන්තිය බාගෙට සරසද්දීම පන්තියට ඇවිත්. මොනා කරන්නද ... සර්ට හරි පුදුමයි උඩ බිම බලනවා. අන්තිමට අහනවා අද මොකද විශේෂත්වය කියලා. පස්සේ තමයි දන්නේ සර්ටත් birthday එක මතක තිබිලා නෑ කියලා.
ඉටිපන්දම් නිවලා කේක් කපලා ලස්සනට birth day  එක සැමරුවා. එදා සර්ගේ ඇස් වල කඳුළු පිරිලා තිබුණා. "මට කවදාවත් birthday party එකක් තිබිලා නෑ ළමයිනේ " කියලා සර් කිව්වා තාම මතකයි.

Friday, August 2, 2013

හොරු පැනීම

මම සාමාන්‍ය පෙළ කරලා ගෙදර ඉන්න කාලේ උදය වරුවේ ගෙදර හිටියේ මමයි ආච්චි අම්මයි. අපේ ගෙදර තියෙන්නේ අනිත් ගෙවල් වලින් ටිකක් ඈතට වෙන්න කන්දක් උඩ. ආච්චි අම්මා පුරුද්දක් විදිහට උදේට අපේ ගෙදරට එන පාර අතු ගානවා. ඒ වෙලාවට මම ගෙදර දොර ඇතුලෙන් ලොක් කරගෙන තමයි ඉන්නේ.

දවසක් ආච්චි අම්මා ගියාම  මම සද්දෙට දොර වහගෙන ඇතුලට වෙලා හිටියා. ටිකකින් ගෙයින් එළියෙන්  එක එක සද්ද ඇහෙනවා. ටිකක් බය හිතුනා. ගේ වටේට කට්ටිය ඇවිදිනවා ඇහෙනවා. මම හෙමිහිට ජනේලයක් ඇරලා බැලුවා. මෙන්න අල්ලපු ගෙදර අයියා ඉන්නවා එළියේ.
ගෙදරට ගියත් එළියට එන්නේ නැති කෙනා මොකද මේ. "අයියේ මොකද ප්‍රශ්නේ?" මම හෙමිහිට ඇහුවා.
"අනේ නංගි ඔයා ගේ ඇතුලේ හිටියද?" අයියාට  හිනාවකුත් ගියා.

මම ඕන දෙයක් කියලා දොර ඇරියා. බුදු අම්මෝ ගමේම කට්ටිය ඇවිත්. කැති පොලු වීදුරු බෝතල් අතේ අරගෙන. "ඇයි මේ" මම බයෙන් බයෙන් ඇහුවා. "නෑ මෙහේ දොර කඩනවා වගේ සද්දයක් ඇහුණා අපි හිතුවේ හොරු පැනල කියල" ගමේ කෙනෙක් කිව්වා. "පාරේ ආච්චි අම්මා හිටියේ නැද්ද" මම ඇහුවා "හිටියා අපි කතා කරලා ආවේ ගෙදර කවුරුවත් නෑ කිව්වා අපි හිතුවා කවුරුත් නැති වෙලාවේ ගේ ඇතුලෙන් සද්දයක් ආවම හොරෙක් ඇවිත් කියලා නංගි ඇතුලේ ඉන්නවා කියල දන්නේ නැනේ " දැන්නම් මටත් හිනා ආච්චි අම්මා වැඩි හොඳට කියන්න ඇත්තේ ගෙදර කවුරුත් නෑ කියල. මම හැමෝටම තැන්ක්ස් කරලා ආයෙත් දොර වහ ගත්තා. තව පොඩ්ඩෙන් නොපැන්න හොරෙක් හින්ද මම ගුටි කනවා අම්බානකට.